නි.ඇමති සුජිවගේ සංවිධායකු කියා කොරියා රැකියා දෙන්න මුදල් අරන්

නි.ඇමති සුජිවගේ සංවිධායකු කියා කොරියා රැකියා දෙන්න මුදල් අරන්

රු.83,000.00 ක මුදලක් ලබාගෙන කොරියානු රැකියා ලබා දෙන බව පොරොන්දු වෙමින් වංචා කල පුද්ගලයෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් ඊයේ (13) කොටුව පොලිසිය මගින්, අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණ හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතාගේ උතුරු කොළඹ ප‍්‍රධාන සංවිධායක ලෙස පෙනී සිටි, ලකී මිල්කෝ මාටින් නමැති පුද්ගලයා කොරියානු අයදුම්පත් ලබාගත් කාන්තාවකගෙන් කොරියානු විභාගයට ඉදිරිපත් නොවී කොරියානු රැකියා ලබා දෙන බවට පවසා රු.83,000.00 ක් ලබාගෙන තිබේ.

තවද, මේ සඳහා අමාත්‍යවරියගේ ලේකම්වරයෙකුගේ සහය ලැබෙන බවද මොහු ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරිය දැනුවත් කිරීම සඳහා අදාළ සැකකරුට මුදල් ලබාදුන් මෙම කාන්තාව අද අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ මොහු ලබාදී ඇති තොරතුරු ව්‍යාජ ඒවා බවයි.

ඒ අනුව කි‍්‍රයාත්මක වූ අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා හා කාර්යාංශයේ සභාපතිතුමා දැනුවත්කර කොටුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු ඊයේ සවස (13 ) ජනාධිපති මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් හෙළිවූයේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සුජිව සේනසිංහ අමාත්‍යවරයා මෝදර පොලිසියට මින් පෙර පැමිණිලි කර ඇති අතර මින් පෙරද මෙවැනි ආකාරයට පුද්ගලයින් රවටා රැකියා ලබා දෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරිය අවධාරණය කළේ, කොරියානු රැකියා සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත්, එසේ මුදල් ලබා දුන්නද කොරියාවේ රැකියා ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවේ කිසිවෙකුට මැදිහත් විය නොහැකි බවයි.

මෙවැනි ව්‍යාජ ලෙස පුද්ගලයින් රවටා මුදල් වංචා කරන පුද්ගලයින්ට හසු නොවන ලෙසත් එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකතන අංක 0112864118/0112864135වෙත දැනුවත් කරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share this: