නියෝගයට පිටින් රු.කෝටි 3ක භාණ්ඩ වතු කම්කරුවන්ට

නියෝගයට පිටින් රු.කෝටි 3ක භාණ්ඩ වතු කම්කරුවන්ට

පසුගිය රජයෙන් වතු කම්කරුවන්ට ඛෙදාහැරීමට තොන්ඩමාන් පදනමට දුන්නේ යැයි කියන රු.කෝටි 3ක භාණ්ඩ තොගයක් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා. ම. හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන්, එම කොංග්‍රසයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ඇතුළු පිරිසක් අද (17) එම භාණ්ඩ වතු කම්කරුවන්ට ඛෙදමින් සිටියදී එය වහාම අත්හිටුවන ලෙසට හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

එම අධිකරණ නියෝගය පොලීසිය මගින් ගෙනවිත් තොන්ඩමාන් මහතාට ලබාදෙන අවස්ථාවේ එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් තොන්ඩමාන් මහතා එම ක‍්‍රීඩාංගණයෙන් පිටව ගොස් ඇත.

පසුව නෝර්වුඩ් පොලීසිය මගින් ඛෙදාහරින ලද භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට ක‍්‍රීඩාංගණයේ දොර වසාදැමීමත් සමගම නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

ක‍්‍රීඩාංගණයේ වෙනත් අතුරු මාර්ග වලින් භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට ද පොලීසිය කටයුතු කර ඇත.

එහෙත් ඇතැම් පිරිස් ඒ ලබාගත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් රැගෙනයාමට උත්සාහ කර ඇති අතර ක‍්‍රීඩාංගණයට පොලිස් කැරලි මර්දන ඒකකය සහ අමතර පොලිස් බලඇණි යොදවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණ.

පැවති ජනාධිපති මැතිවරණයට ප්‍රථම තොන්ඩමාන් ක‍්‍රීඩාංගණයේ සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර, පුටු, සෙවිලි තහඩු, වැහි කූඩාරම් සහ විශාල ඉවුම් භාජන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම භාණ්ඩවල අයිතිය තොන්ඩමාන් පදනමට ඇති බව අධිකරණය හමුවේ එම පදනම මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව හැටන් මහේස්ත්‍රාත් අයි.පී.ඩී.ලියනගේ මහතා විසින් එම භාණ්ඩ එම පදනමට නැවත ලබාදෙන ලෙස පොලීසියට නියෝග කර තිබිණ.

එහෙත් නෝර්වුඩ් පොලීසිය හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් පවත්වන ලද පරීක්ෂණ වල විශාල අඩුපාඩුකම් රැසක් පවතින බැවින් නැවත ඒ සඳහා වෙනත් සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් කණ්ඩායම් විසින් පරීක්ණයක් පැවැත්වීම ආරම්භකර ඇති නිසා අද එම භාණ්ඩ නිකුත් කිරීම නතර කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසයි.

මෙම කරුණු සලකාබැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර තිබේ.

මෙම භාණ්ඩ ලබාදීමට ප්‍රථම පැවති රැස්වීමේදී තොන්ඩමාන් මහතා පවසා සිටියේ මෙම භාණ්ඩ ඛෙදාහැරීම හැකිනම් නතර කර පෙන්වන ලෙසයි.

තේ වතු දෙසීය තුනකට ගම්මාන හතලිස් හතකට සහ තොන්ඩමාන් පදනමේ ප්‍රජා ශක්ති ව්‍යාපෘති හතළිස් හතරකට මෙම භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු කරමින් තිබූ බව සඳහන්ය.

Share this: