පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ, පසුගිය කාලයේ සෞඛ්‍ය සේවයේ ඇතිවූ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් 75% ට වැඩි ප්‍රමාණයකට හේතුවූයේ එක් වෘත්තීය සේවයක් පමණක් සෞඛ්‍ය පරිපාලනයේ ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා බවයි.
සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීන්ටද පරිපාලන ක්ෂේත්‍රයට ඇතුළුවීමට ඉඩප්‍රස්ථාව ලබාදිය යුතුව ඇති බව එහි ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
තවද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්, භෞත චිකිත්සකයින් හා වෘත්තීය චිකිත්සකයින් යන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් නියෝජනය කරමින් තමන් මෙම අදහස් පළකරන බව හෙතෙම සඳහන් කළේය.
පසුගිය රාජපක්ෂ රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරනු ලැබුවේ ජාතික ආදායමෙන් 1.8ක් වැනි සුළු ප්‍රතිශතයක් බවත්, වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එය 3%ක් දක්වා වැඩිකරන බවට ප්‍රතිඥා දී තිබුණු බවද ඔහු සිහිපත් කළේය.
තවද මුදල් වෙන්කිරීමෙන් පමණක් නිදහස් සෞඛ්‍ය සේවය යථාවක් බවට පත්නොවන බවත්, එය යථාර්ථයක් බවට පත්කිරීමට නම් මනා කළමනාකරණයක්ද අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේවන විට නිදහස් සෞඛ්‍ය සේවය අභියෝග රැසකට මුහුණදී ඇතැයිද ඒ නිසාම එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් බවට පත්කිරීමට වත්මන් ආණ්ඩුවට ගත හැකි පියවර ගණනාවක් පවතින බවද සමන් ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.
සෞඛ්‍ය පරිපාලනයේ පවත්නා ඒකාධිකාරී ස්වරූපය අහෝසි කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරන මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම හා පසු විපරම් සිදුකිරීම, සෞඛ්‍ය සේවයේ සියලු සේවා නාගරික – ග්‍රාමීය භේදයකින් තොරව ජනතාවට සමතුලිතව ලබාගතහැකි ලෙස සකස්කිරීම ආදිය එකී අභියෝගයන් බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.