නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති ගැටලු බොහෝදුරට නිරාකරණය කරගෙන අවසන් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිරියේ දී පත්වන ජනපතිවරයාට ආණ්ඩු කිරීමට අගමැති හා අමාත්‍ය මණ්ඩලය ඇතුළු සැමගේ සහාය අවශ්‍යය බවත් මේ නිසා ජනපති අපේක්ෂකත්වයට පත්වන පුද්ගලයා තනිව ප්‍රතිපත්ති නොහදා කණ්ඩායමක් සමඟ එකට වැඩ කරමින් රට හමුවෙ ඇති ප්‍රශ්නවලට විසඳුම් සොයන අයකු විය යුතු බවත්
ප්‍රජාතන්ත්‍රවාදීව සියලු ජන කණ්ඩායම්වල විශ්වාසය දිනා ගනිමින් සාමුහිකව කටයුතු කළ හැකි අයකු එජාපය මඟින් ඉදිරියේ දී ජනපති අපේක්ෂකත්වයට නම් කරනු ඇති බවද ඒ මහතා කීය.
අංකුඹුර බස්නැවතුම විවෘත කිරීම හා අලවතුගොඩ අංකුඹුර මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම නිමිත්තෙන් පෙරේදා (24) අංකුඹුරේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා මේ බව පැවසුවේය.
ජනපතිවරණය මේ මොහොත වන විට ප්‍රකාශයට පත්කර නොමැති බවත් ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙකකින් මේ වන විට ඔවුන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන බවත් කී ඒ මහතා එජාපය ප්‍රමුඛ සන්ධානයද ඉතා ඉක්මනින් තමන්ගේ ජනපති අපේක්ෂකයා රටට ඉදිරිපත් කරන බවද අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය මුල්වී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ අපේක්ෂකයා තෝරා ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම අපේක්ෂක නාමය සන්ධාන නායකත්ව මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අපේක්ෂකයෙකු නම් කිරීමේ ප්‍රශ්නයකට වඩා දැන් අවධානය යොමුව තිබෙන්නේ සියලු ජන කොටස් එකට එකතු කර ගනිමින් රට මුහුණදී තිබෙන අර්බුදයන්ගෙන් මුදා ගැනීමට පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීමට දායක විය හැකි නියම පුද්ගලයා තෝරා ගැනීමට බවත් කී ඒ මහතා මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සියලු දෙනාට සතුටු විය හැකි ආකාරයට විසඳෙනු ඇති බවද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් එජාපය මඟින් ඔහු ඉදිරිපත් කළ හොත් සහායදීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් ඇමැතිවරයා පැවසුවේය.