නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට

නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා හෙට(13) මෙරටට පැමිණීමට නියමිතය.

මෙහි විශේෂත්වය වන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු මෙරට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නේ වසර 27කට පසුවීමයි.
ඒ අනුව ගුවන් තොටුපළේදී පැවැත්වෙන විශේෂ පිළිගැනීමේ උත්සවයකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක්ද පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පවත් වන්නේ ඉන් අනතුරුවයි.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

භෝජන සංග්‍රහයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන්ගේ සිහිවටන ස්තම්භයට පුෂ්‍පෝපහාර පිදීමටත් නියමිතව ඇත. මහාබෝධි සංගමයේ විශේෂ සංචාරයකද නිරත වන්නේ ඉන් අනතුරුවයි.

අනතුරුව ඉන්දීය අගමැතිවරයා හෙට පස්වරු 3.20 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර ඒ මහතාගේ පැමිණීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද සහ හෙට (13) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සියලුම ගොඩනැගිලි විශේෂ පරීක්ෂාවකට ලක්වන අතර 13 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් වෙන් කෙරේ.

තවද පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ට හෙට දිනයේ පැමිණීම අනිවාර්ය කර ඇත.

පස්වරු 2.45පමණ වන විට සියලු මැති ඇමැතිවරුන් අසුන්වල අසුන් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ කාර්යාලවලින් ඔවුව දැනුවත්කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන එදින ජයන්තිපුර රථ ගා‍ලේ නැවතා තැබිය යුතුය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙටපස්වරු 3.00වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිතය.

එහිදී අගමැතිවරයාව පිළිගනු ලබන්නේ කථානායක චමල් රාජපක්ෂ මහතා විසිනි.

ඔහුට කථානායකවරයාගේ ආයතනයට දකුණු පසින් විශේෂිත ආසනයක් පැනවීමට නියමිතය.

අනතුරුව එම ස්ථානයේම සූදානම් කළ විශේෂ පීඨිකාවකදී අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතනු ඇත.‍

ඉන්පසුව ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ආණ්ඩු පක්ෂ ආලින්දයේදී පැවැත්වෙන අතර, සංග්‍රහයට සහභාගි විය හැක්කේ මන්ත්‍රීවරුන්ට පමණි.

අනෙක් අරදිත අමුත්තන් වෙනුවෙන් වෙනම ස්ථානයක තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ. පස්වරු 4.30වන විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පාර්ලිමේන්තුවෙන් නික්ම යාමට නියමිතව ඇත.

තවද ආරක්ෂක විධිවිධානවලට අමතරව ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සම්බන්ධ පෙරහුරුවක්ද අද (12) පස්වරු 2.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

අනතුරුව අනිද්දා(14) පස්වරුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටත්වීමට නියමිතය.

Share this: