දෙමළ දේශපාලනඥ විරෝධයෙන් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට ප‍්‍රතිමා තුන ඉවතට

දෙමළ දේශපාලනඥ විරෝධයෙන් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට ප‍්‍රතිමා තුන ඉවතට

යාපනයේ දෙමළ දේශපාලනඥයන්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට සූදානම් කොට තිබූ ප‍්‍රතිමා තුනම පසුගිය 22 දා සවස බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කොට තිබේ.

යාපනය බන්ධනාගාරයේ සිටි රැුඳවියන් පිරිසක් විසින් මේ ස්ථානයේ චිත‍්‍ර ඇඳ ඊට ගැළපෙන ප‍්‍රතිමා තුනක් නිර්මාණය කොට එම ප‍්‍රතිමා නිරාවරණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊට එරෙහිව යාපනයේ දෙමළ දේශපාලනඥයන්ගෙන් විශාල විරෝධයක් එල්ල විය.

දෙමළ දේශපාලනඥයන් තරයේම කියා සිටියේ එම ප‍්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු කෙරෙන ප‍්‍රතිමා නිසා යාපනයේ යළිත් ජාතිවාදය ඇවිස්සීමට පෙර ඒවා ඉවත් කරන ලෙසයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මේ අන්දමේ චිත‍්‍ර හා ප‍්‍රතිමා උතුරු පළාතෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යවා තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ හා සෙසු දෙමළ දේශපාලන පක්ෂවල පිරිස් යාපනයේ

බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස් වෙමින් කියා සිටියේ එම ප‍්‍රතිමා තුනම ඉවත් කළ යුතු බවයි.

බන්ධනාගාර නිලධාරීන් හා රැුඳවියන් යාපනය බන්ධනාගාරය ඉදිරිපස තාප්පයේ විජය කුවේණී පැමිණීම හා සංඝමිත්තා තෙරණිය ජය ශ‍්‍රී මහ බෝධිය රැුගෙන එන ලද අවස්ථාවන් නිරූපණය කරමින් චිත‍්‍ර ඇඳ තිබූ අතර එම චිත‍්‍රවල අදහස තවත් තීව‍්‍ර කිරීම සඳහා එම චිත‍්‍ර අසල තැබීමට ප‍්‍රතිමා තුනක් නිර්මාණය කොට තිබුණි.

එල්ල වූ දැඩි විරෝධය මත එම ප‍්‍රතිමා තුන ඉවත් කෙරුණු නමුත් තාප්පයේ ඇඳ ඇති චිත‍්‍ර ද සිංහල බෞද්ධ ඉතිහාසය ගැන කියැවෙන චිත‍්‍ර නිසා ඒවා ඉවත් කරන ලෙසද යාපනයේ දෙමළ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.

Share this: