මුහුදු සිංහයකු බව සැලකෙන මුහුදු සත්වයකු වැලිගම, මිදිගම වෙරළ තීරයට ගොඩගසාගෙන ඇවිත් තිබූ බව වැලිගම පොලිසිය පැවසීය.
23 දා පස්වරුවේ මෙම සත්ත්වයා වෙරළ තීරයට ගොඩගසා තිබූ බව ප‍්‍රදේශවාසීන් පැවසීය. එම සත්ත්වයාට ජීවය තිබූ අතර එය දැක බලා ගැනීමට ජනතාව පැමිණීමෙන් පසු සතා මුහුදට පිහිනා ගොස් ගල් පරයක් මත සිටින ආකාරය නැවත දකින්නට ලැබිණ.
මිරිස්ස වනජීවි කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ, මෙම සත්ත්වයා විදේශ රටක සිට දිය වැළකට හසුව මිදිගම පෙදෙසට ගසාගෙන ඇවිත් ඇති බවට විශ්වාස කරන බවත්, මෙම සත්ත්වයා ඉතාමත් දුර්ලභ ඝණයේ සත්ත්වයකු වන බවයි. එමෙන්ම ලංකා මුහුදේදී දක්නට නොලැබෙන අතරම සතාට අවශ්‍ය ප‍්‍රතිකාර කිරීම අන්තර් ජාතික නීතියට අනුව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ අවසරය මත අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවද පැවසීය.
ඒ අනුව පැය ගණනාවකට පසු ලද අවසරය මත නාවික හමුදාව, වනජීවී නිලධාරීන්, මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එක්ව සතා ගොඩබිමට ගෙන ඒම සඳහා විශාල උත්සාහයක් ගත්තද සතා මෙල්ල කිරීමට තිබූ අපහසුතාව සමඟ සතා ගැඹුරු මුහුදට ගසාගෙන ගිය අතර එ සමග සතාට ප‍්‍රතිකාර කිරීමේ කටයුතුද ව්‍යාර්ථ විය.