පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා ණයට මුදල් ලබාදුන් බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් ඊයේ (10) පැය හයක කාලයක් ප්‍රශ්න කළේය.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වෙලේ සුදාගෙන් ණයට මුදල් ලබා ගත්තේ යැයි ඔහු රහස් පොලිසියට දෙන ලද ප්‍රකාශයක් මත රහස් පොලිසිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඊයේ පෙරවරුවේ රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණේ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මතයි.
ඒ අනුව මන්ත්‍රීවරයා නීතිඥවරුන්ද සමඟ ඊයේ රහස් පොලිසියට පැමිණීමෙන් පසු මෙසේ පැය හයක පමණ කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා කීය.
වෙලේ සුදා පවසන ලද ප්‍රකාශ සම්බන්ධව රහස් පොලිසිය මේ වන විට පුද්ගලයන් 75 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ අය අතර රජයේ නිලධාරීන්, බැංකු නිලධාරීන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්ගේ හිතවතුන් ඇතුළු පිරිසක් වෙති.
රහස් පොලිසිය මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවලදී දුමින්ද සිල්වා මහතා වෙලේ සුදාගෙන් මුදල් ණයට ලබා ගත් බවට අනාවරණය වී තිබේද යන්න සම්බන්ධයෙන් විමසූ විට මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි මුදල් ගනුදෙනුවක් සිදු කළ බවට තවමත් කරුණු හෙළිවී නැති බවයි.
මේ විමර්ශනයේදී රහස් පොලිසිය දුමින්ද සිල්වා මහතාගේ සහ වෙලේ සුදාගේ ප්‍රකාශ වලින් සඳහන් වෙන සෙසු පුද්ගලයන්ගේද ඇතුළුව බැංකු ගිණුම් 82ක් පරීක්ෂාවට ලක් කරගෙන යයි. දැනට බැංකු ගිණුම් 60ක් පරීක්ෂා කර අවසන් කර තිබේ.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබාගත්තද දැනට ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවත් යම් අපරාධකරුවෙක් යම් පුද්ගලයකු සම්බන්ධව පැවසූ පමණින් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි අතර මන්ත්‍රීවරයාද අත්අඩංගුවට ගනු ලබන්නේ මේ විමර්ශනවලදී මන්ත්‍රීවරයා පිළිබඳ වෙලේ සුදා පැවසූ කරුණු හරිහැටි අනාවරණය වුවහොත් පමණක් බවද අජිත් රෝහණ මහතා පැවසීය.
තවද මත්කුඩු ජාවාරම්කරුවකු වැනි අපරාධකරුවකු එම ජාවාරම්වලින් උපයන මුදල් ඒ බව දැන දැනම ඔහු සමඟ ගනුදෙනු කිරීමද මුදල් විසුද්ධි කිරීමේ පනත යටතේ වරදක් වෙයි.
එවැනි අපරාධකරුවකුගෙන් උදව් ලබාගැනීම සහ ඔහුට උදව් කිරීමද එම පනත යටතේ වරදක් බවට පත් වෙයි. එවැනි ගනුදෙනුවක් සිදුව තිබේද යන්නද මෙහිදී විමර්ශනය වෙයි.
මේ විමර්ශනය සතියක් වැනි කාලයක් තුළ පවත්වා අවසන් කරන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.