ථෙරවාදි බුදු දහම පිළිබඳව 2017දී සංඝායනාවක්- රනිල් වික්‍රමසිංහ

ථෙරවාදි බුදු දහම පිළිබඳව 2017දී සංඝායනාවක්- රනිල් වික්‍රමසිංහ

ථෙරවාදි බුදු දහම පිළිබඳ සංඝායනාවක් කැඳවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්,මෙම සංඝායනාව කැඳවන ලෙස මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවද,ගරුතර සංඝරත්නය එකඟ නම් 2017 වර්ෂයේ මේ සංඝායනාව කැඳවීමට හැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (06) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති මහා සංඝ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කල සම්පුර්ණ කතාව පහතින් දැක්වේ.

අද දිනයේ මැතිවරණ කටයුතු රාශියකට සහභාගි වීම සඳහා පිටත්ව යාමට ඇති නිසා මෙහිදී මට මුලින්ම ඔබ වහන්සේලා අමතා අදහස් දැක්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ගරුතර මහා සංඝ රත්නයට මගේ ස්තුතිය පුද කරනවා. අපි මාස 60කින් අලූත් රටක් නිර්මාණය කිරිම සඳහා ජනවරමක් ඉල්ලනවා. අලූත් රටක් හදන අවස්ථාවේදි අපේ අතීත සංස්කෘතිය අනුව අතීත උදාහරණවලින් පෝෂණය වෙමින් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා. අශෝක අධිරාජයා තුන්වන සංඝායනාවෙන් ථෙරවාදි බුදුදහම තහවුරු කළා. එදා තිබුණු ග්‍රීසිය, මිසරය, මැදපෙරදිග, අග්නිදිග ආසියාව, චීනය, ලංකාව, ඇතුලූ එදා තිබූ ලෝකයට ධර්ම ධූත කණ්ඩායම් එවනු ලැබුවා. එහෙත් අශෝක අධිරාජ්‍යයාගෙන් පසුව මෞර්ය අධිරාජ්‍යය අවසන් වුණා. මෞර්ය අධිරාජ්‍යය අවසන් වුණත් එහි උරුමක්කාරයන් ඉතිරි වුණා. අනුරාධපුර රාජධානියත්, ඊට පසුව ලංකාවේ ඇති වුණු විවිධ රාජධානිත් එම උරුමක්කාරයන් වුණා. අපි ඒ මෞර්ය අධිරාජයාගේ පාලන ක්‍රමයත් ඒ සමගම ථෙරවාදි බුදුදහම ආරක්ෂා කිරිමේ වගකීමත් භාරගනිමින් එය රජරට ශිෂ්ඨාචාරයේ පදනම කරගනු ලැබුවා.

එම ශිෂ්ඨාචාරය එදා ඉන්දියන් සාගරය අවට රාජ්‍යයන්හි බලවත් ශිෂ්ඨාචාරයක් බවට පත් වුණා. මානවම්ම රජතුමා, දෙවන සේන රජතුමා සහ පරාක්‍රමබාහු රජතුමා යන රජවරුන්ගේ පාලන සමය තුළ මේ රටේ විශාල දියුණුවක් ඇති වුණා. අනුරාධපුර මහා විහාරය විශේෂයෙන්ම ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානයක් බවට පත්වුණා. කාන්චිපුරම් හි පැවති බෞද්ධ මධ්‍යස්ථානය අවසන් වූවායින් පසුව විශේෂයෙන්ම අනුරාධපුර මහා විහාරයෙන්, පසුව පොළොන්නරුවත්, දිඹුලාගලත් ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් එදා කටයුතු කළා.

අපි 21 වන ශත වර්ෂයේ අලූත් යුගයක්, අලූත් රටක් හදන්නට බලාපොරොත්තු වන අවස්ථාවේදි ඒ උදාහරණ පදනම් කරගත යුතුයි. ඒ උදාහරණ සහ මූලධර්ම අනුව අපි වැඩකටයුතු කළ යුතුයි. අපි බලවත් රාජ්‍යයක් බවට පත් වීමට නම් අලූත් රටක් බවට පත් වීමට නම් ආර්ථික දේශපාලන ආගමික හා සමාජයීය දියුණුවක් ඇතිකිරීමට නම් පවත්නා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් අලූතින් සිතා බැලිය යුතුව තිබෙනවා. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බැවින් බහු පක්‍ෂ දේශපාලනය නැති කරන්නට කියන්නේ නෑ. දැනට ක්‍රියාත්මක වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයට අනුව එයට, එදා බුදුන් වහන්සේ විසින් ලිච්ඡවි රජ දරුවන් හට ලබාදුන් උපදෙස් අනුව අපේ ව්‍යවස්ථාවත් සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලිච්ඡවි රජදරුවන්ට අනුව අපි සාමයෙන් රැස්වී, සාමයෙන් සාකච්ඡා කොට සාමයෙන් තීරණ රැගෙන සාමයෙන් විසිර යන්නේ කෙසේද? එසේ කටයුතු කිරීමට නම් අපි විධායකය, ඇමති මණ්ඩලයට අමතරව පාර්ලිමේන්තුවටත් වැඩකටයුතු කරන්නට අපි අවස්ථාවක් දිය යුතුයි.

ලිච්ඡවි රාජ්‍ය සමයේ තිබු එම ජන සභාවක් මගින් එදා සාමය ඇති කර ගත්තා. එසේම පක්‍ෂ දේශපාලන ක්‍රමය තුළත් එසේ කරන්නට පුළුවන්. අපි බලලෝභිත්වය නිසා අන්තයකට ගොස් සිටිනවා. අන්තිමට අවසන් වුණේ පවුල් පාලනයකින්. ස්විස්ටර්ලන්තයේ ක්‍රියාත්මක වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, බොහෝ විට ලිච්ඡවි ක්‍රමයට සමාන එකක්. ඒවගේම බටහිර යුරෝපයේ සමහර රටවල් පැවති ක්‍රමය, 1931 – 1948 දක්වා ලංකාවේ පැවති ඩොනමෝර් ක්‍රමය, මේ හැම පාලන ක්‍රමයකදීම අපි සාකච්ඡා කරලා කටයුතු කළා. මේ රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, රජරට වැව් ප්‍රතිසංස්කරණය කිරීම හා අන්තිමට ලංකාවට නිදහස ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයකට පැමිණියා. ඒ අරමුණට අනුව එකඟත්වයකට පැමිණීමේ ලිච්ඡවි මූලධර්මය අප දැනට පවතින බහු පාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හා සම්බන්ධ කරගනිමින් සම්මුතිවාදී ආණ්ඩු ක්‍රමයක් ඇති කර ගත යුතුයි. එසේම පෞද්ගලික නිදහස ආරක්‍ෂා කර ගත යුතු අතරම පරිසරය ද ආරක්ෂා කළ යුතුයි. පරිසරය ආරක්ෂා කිරීමේ කාර්යභාරයට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි. පරිසරය ආරක්ෂා කිරිමේ කිරීමේ වැදගත්කම බුදුන් වහන්සේ ද දේශනා කොට තිබෙනවා.

එබැවින් මේ රටේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලන හා අධ්‍යපන යන ක්ෂේත්‍රයන්ට පරිසරය ආරක්‍ෂා කිරීමද ඇතුළුකර ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. එසේ සිදු කරන අතරම අනාගතය සම්බන්ධයෙන්ද අපි විශේෂ කරුණක් සිතේ තබා ගත යුතුයි. අවුරුදු දහස් ගණනක් මේ කලාපයේ ථෙරවාදි බුදුදහමේ මධ්‍යස්ථානය වූයේ ශ්‍රී ලංකාවයි. එය අනුරාධපුරයේ, කෝට්ටේ හෝ පොළොන්නරුවේ වෙන්න පුළුවන්, අපි බලවත් වුණේ අපේ බුද්ධාගමේත්, ශාසනයේත් තිබුණු ශක්තිය මතයි. අපි ඉදිරියට යන්නේ කෙසේද? එසේ ඉදිරියට යාමේදි අප සතු වගකීම ඉටුකිරීමට තිබෙනවා. එදා අශෝක රජතුමා ථෙරවාදී බුදුදහම තහවුරු කළා එය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒ පිළිබඳවත්, මාස 60 කින් අලූත් රටක් යන අපේ වැඩසටහනේ අවධානය යොමු කර ඇති බව කිව යුතුයි. විශේෂයෙන්ම ඔබ වහන්සේලාගෙන් ඒ පිළිබඳ අදහස් ලබාගෙන ක්‍රියාකාරි වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ශාසනය ශක්තිමත් කිරීමේදී අපේ සංඝයා වහන්සේලා සඳහන් කොට ඇත්තේ ශාසනික අධ්‍යාපනයයි. එදා ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් ගෙන එනු ලැබූ පිරිවෙන් පනත ක්‍රියාත්මක කරන්නට මටද අවස්ථාව ලැබුණා. එය සකස් කළේ නිශ්ශංක විජේරත්න ඇමතිතුමායි. එය ක්‍රියාත්මක කරන්නට, මුදල් ලබාදීමට කටයුතු කළේ මමයි. අද එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සංශෝධන කුමක්දැයි සිතා ඒ ගැන එකඟත්වයකට පැමිණ අවශ්‍ය සංශෝධනය කිරීමට කටයුතු කරන්නට අපට හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් අලූත් නීති ඇතුළත් කොට ඉදිරිපත් කිරීමට ද පුළුවන්. එම කටයුත්ත අපේ ගරුතර මහා සංඝරත්නයේත් මහා නායක සංඝයා වහන්සේලාගේත් අදහස් කඩිනමින් ලබාගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ එක්කම අපේ වත්මන් සමාජය එදා තිබුණු කෘෂි ආර්ථිකය, තාක්ෂණික ආර්ථිකයකට වෙනස් වෙමින් පවතිනවා. අද පවතින්නේ වෙළෙඳ ආර්ථිකයක් බැවින් මුදල් පරිහරණය ආදි කටයුතු වැඩිවෙමින් පවතිනවා. අලූත් තාක්‍ෂණය අනුව රූපවාහිනිය, අන්තර්ජාලය අතර අප ජීවත් වෙනවා. එසේ නම් මේ බිහිවන අලූත් සමාජය තුළ අපේ තරුණ භික්‍ෂුන් වහන්සේලාට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසදුම් සොයා ගත යුතුයි. ඒ සඳහා මහා නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස් අනුව වෙනම කමිටුවක් පත්කොට එමගින් විසදුම් ලබාගැනීට අප බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කිරීමට ඇති කටයුතු ඔබ වහන්සේලා යෝජනා කළ යුතුයි. මේ හා සම්බන්ධ කරුණු ගණනාවක්ම තිබෙනවා. අපේ අධිකරණ අමාත්‍යතුමා, බුද්ධ ශාසන අමාත්‍යවරයා හා සමග සාකච්ඡා කොට මූල ධර්ම පදනම් කරගනිමින් වැඩ කටයුතු කරගත යුතුයැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ හා සමගම ලංකාව යළිත් ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය බවට පත් කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. අපේ මහා විහාරය, මයුරපාද පිරිවෙන, සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පිරිවෙන, විජයබා පිරිවෙන ඒ පිරිවෙන් සියල්ලම අපේ බුද්ධ ධර්මයටත්, දැනුමටත් ප්‍රධාන මධ්‍යස්ථානය හැටියට අපි සැලකුවා.

අද ඉන්දියාව මහායාන බෞද්ධ රටවල සහයෝගය ඇතිව නාලන්දාව යළිත් විශ්ව විද්‍යාලයක් වශයෙන් බිහි කිරීමට කටයුතු කරනවා. අප එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව යෝජනාවක් හා වාර්තාවක් දිය යුතුයි. ශ්‍රී ලංකාව මහා විහාරය පදනම් කර ගනිමින් විශේෂයෙන්ම බුද්ධ ධර්මයත්, භාවනාවත් දියුණු කරන මුළු ලෝකයටම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් පත්කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.
ඉන්දියාව නාලන්දාව විශ්ව විද්‍යාලයක් බවට පත් කළත් එවැනි විශ්ව විද්‍යාලයක් ඇති කරන්නට අපේ බලාපොරොත්තුවක් නැ. අපට පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල තිබෙනවා. එබැවින් මහා විහාරය අනුගමනය කරමින් කේන්ද්‍රස්ථානයක් ලෙස එය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ වහන්සේලාගේ අදහස් ලබාදෙන ලෙස මේ අවස්ථාවේදි මා ඉල්ලා සිටින්නට කැමතියි. ලංකාවට පමණක් නොව ථෙරවාදි බෞද්ධ රටවල්වලටත්, අග්නිදිග ආසියාවේ, නැගෙනහිර ආසියාවේ, දකුණු ආසියාවේ පමණක් නොව අද යුරෝපයට හා ඇමරිකාවටත් බුදුදහම පැතිරවීමේ කේන්ද්‍රස්ථානයක් ඇති කරන්නට අපි පියවර ගත යුතුයි.

දෙවනුව ඇත්තේ එම කේන්ද්‍රස්ථානය ඇති කළායින් පසු අපේ ලංකාවෙන් යන බෞද්ධ දූත පිරිස් ලංකාවේ සංඝයා වහන්සේලා, අනෙක් රටවල්වල ඇති කරන විහාර ඒ පිළිබදව සම්බන්ධීකරණයක් ඇති කරන්නට අපේ මහා නායක ස්වාමින් වහන්සේලා එකතුව යම්කිසි ක්‍රමයක් ඇති කිරීමයි. මෙම යෝජනාව කොට ඇත්තේ එම නිසායි. ලංකාවෙන් ධර්ම දූත පිරිස් යවන විට අපේ සංඝයා වහන්සේලා විශේෂයෙන්ම ඒ රටවල්වලට ලංකාවෙන් ගිය පුද්ගලයන්ටත් අනිකුත් බෞද්ධයන්ටත්, ඒ ආගමික ස්ථාන විහාරස්ථාන ඇති කරන අවස්ථාවේදි අපේ මහා නායක ස්වාමින් වහන්සේලා යෝජනා කරන අන්දමේ එක යාන්ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක කරන්නට හැකි ආකාරයේ වැඩපිළිවෙළක් අපි අනාගතයේදි ඇති කළ යුතුව තිබෙනවා.

එය සිදු කරන අතරම ථෙරවාදි බුදු දහම පිළිබඳව යළිත් සංඝායනාවක් කැඳවීමටත් අප බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි දැනට යෝජනා කොට තිබෙන්නේ අපේ ගරුතර සංඝ රත්නය එකඟ නම් 2017 වර්ෂයේ මේ සංඝායනාව කැඳවීමටයි. අලූත් පාර්ලිමේන්තුවක් පත් වුණායින් පසුව මෙම සංඝායනාව කැඳවන හැටියට අපි මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. එම සංඝායනාව කැඳවන්නේ මහා නායක ස්වාමින් වහන්සේලා ඊට එකඟ වූ පසුවයි. රටේ නායකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඒ වගකීම භාරගන්න පුළුවන්. අපට ඉටු කරන්නට තිබෙන්නේ නිත්‍යානුකුල වැඩ කොටස් පමණයි. සංඝායනාව කැඳවන්නේ කෙසේද? කැඳවන්නේ කවුද? ඒ සියල්ලම ගරුතර සංඝරත්නය විසින් අපට දැනුම් දීමෙන් අනතුරුව උන් වහන්සේලාගේ එම උපදෙස් අනුව අපි අපේ වැඩ කොටස ඉටුකරන බව කිව යුතුයි. එසේම එම සංඝායනාව කැඳවිය යුත්තේ ලංකාවේ කොතැනද? කුමන රටවලට ආරාධනා කළ යුතුද? ඒ සියලූ කාරණා අපට දැනුම් දුන්නායින් පසුව ථෙරවාදි බුදුදහම පදනම් කරගෙන එහි කටයුතු කිරීමටයි අප යෝජනා කොට තිබෙන්නේ.

අප තුළ වැදගත් අදහස් තිබෙනවා. අලූත් රටක් හැදීමේදි එම අලූත් රට හදන්නේ අලූතින්ම අදහස් අරගෙන නොවෙයි. එහිදී අපේ ඉතිහාසය, අපේ ශිෂ්ඨාචාරය, අපේ උරුමය පදනම් කර ගනිමින් අපි බලවත් ජාතියක් බවට පත්විය යුතුයි. එහි ආරම්භය අපට කරන්නට පුළුවන්. එම ආරම්භය ඇති කරන අවස්ථාවේදී ඒ වැඩසටහනට ගරු සංඝරත්නයේ අදහස් හා අනුශාසනා අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ වැඩකටයුතු කරන්නට අගෝස්තු 17 වෙනිදා ජනතා වරම අපට ලබාදෙන ලෙස ද ඉල්ලමින් ඔබ වහන්සේලා දක්වන සහයෝගයට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

Share this: