තවත් හිටපු සභාපතිවරුන් 2ක් එජාපයට

තවත් හිටපු සභාපතිවරුන් 2ක් එජාපයට

හලාවත සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එකතු වී තිබේ.

මෙසේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත්තේ හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජීවන් ජුඩ් සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර යන මහත්වරුන්ය.

හලාවත තානායමේ 30 වැනිදා රාත්‍රීයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශයක් කරමින් හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජීවන් ජුඩ් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය.

යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායක නිරෝෂන් පෙරේරා වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී අදහස් දැක්වූ ජීවන් ජුඩ් මහතා මෙසේද කියා සිටියේය.

තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ කිසිදු වරදානයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් නොවන බවත්, එවන් යෝජනාවක් හෝ තමන් විසින් සිදු කර නොමැති බවද ඔහු කියා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතිකපක්ෂයෙන් තරඟ කරන්නේ දැක් මාධ්‍යවේදියෙකු විමසූ විට “ඔව් මම ඉදිරිපත් වේවි.හැබැයි සභාපති වනවාද නැද්ද යන්න මහජනතාව තීරණය කරයි” යනුවෙන් පැවසුවේය.

කෙසේ වෙතත් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන යහපාලනය තමන් විසින් හලාවත ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කළ බවද කියා සිටියේය.

වනාතවිල්ලුව විජයපුර ප්‍රදේශයේදී 30 වැනිදා සවස විදුලි බල රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට සහභාගි වූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩග්ලස් ඉන්දික සෙනාධීර මහතා තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව පවසා ඇත.

එම රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා ඉදිරි පර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කිසිවෙකු වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින නමුත් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සේවය අගය කරන බව කියා සිටියේය.

නමුත් තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශයක් නොකිරීමට ඔහු ප්‍රවේශම් විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන 04 ක හිටපු සභාපතිවරුන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත.

හලාවත නගර සභාවේ හිටපු සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමෙන් අනතුරුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ද ලබා දුන්නේය.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් වීරසිංහ මහතා පසුගිය 29 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුවේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂයට එකතු විය.

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

උපුටා ගැනීම අද දෙරණ

Share this: