තරගාවලිය දින්නත් ශ්‍රේණියේ ඉහළ යන්න මේ තරගයත් ජයගත යුතුමයි

තරගාවලිය දින්නත් ශ්‍රේණියේ ඉහළ යන්න මේ තරගයත් ජයගත යුතුමයි

නවකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලොව අංක එකේ විස්සයි විස්ස පිලට එරෙහිව 3-0 ක තරගාවලි ජයක් සොයමින් අද (09) ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයට පැමිණේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය ජය ගත්තද මෙම තරගයද පහසුවෙන් සැලකිය යුතු නැති බවත් තම පිල අපේක්‍ෂා කරනුයේ 3-0 ක තරගාවලි ජයක් බවත් දසුන් ශානක පවසයි.

‘‘ඇත්තටම අපි තරගාවලිය දැන් 2-0 ක් ලෙස දිනුවත් තුන්වැනි තරගය ලෙහෙසියට ගන්න බැහැ. මොකද අපිට අවශ්‍ය හැම තරගයක්ම ජයගන්න. කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් ඉතාමත් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. ඔවුන් මැදට ගිහිල්ල උපරිමයෙන් කී‍්‍රඩා කරනවා. ඒ නිසා අපිට 3-0 ක ජයක් ලබන්න අන්තිම තරගය ජය ගන්න ඕන. විශේෂයෙන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළ නැගීමට අපිට තරග තුනම ජය ගැනීම වාසියක් වෙනවා.’’

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණියේ ඇෆ්ගනිස්තානයටත් වඩා පියවරක් පසුපසින් අටවැනි ස්ථානයට පත්ව තිබේ. කෙසේ වෙතත් ලොව අංක එකේ විස්සයි විස්ස පිලට එරෙහිව

3-0 ක ජයක් ලැබීමට ශ‍්‍රී ලංකාව සමත් වුවහොත් ඇෆ්ගනිස්තානය පසුකර යෑමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වේ. මේ වන විට ඇෆ්ගනිස්තානය ප‍්‍රසාද ලකුණු 235 ක් ලබා හත්වැනි ස්ථානයේ සිටින අතර ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 229 ක් ලබා තිබේ. ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා වන විට විස්සයි විස්ස ශ්‍රේණියේ තත්ත්වය එසේ වුවද ශ‍්‍රී ලංකාව විසින් පාකිස්තානය 3-0 කින් පරාජය කර දැමුවහොත්

ඇෆ්ගනිස්තානයට පසුපසට ඇද දැමීමේ වැඩි වාසියක් ශ‍්‍රී ලංකාව හමුවේ තිබේ.

එළැඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා සංයුතිය සකස් කර ගැනීම සඳහා මේ වන විට තරග ක‍්‍රීඩා නොකළ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට තේරීම් කමිටු ප‍්‍රධානි අසන්ත ද මෙල් මහතා සහ නායක දසුන් ශානක උත්සහ කරමින් සිටියි. පාකිස්තාන් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකම ඊයේ පුහුණුවීම්වලින් තොරව විවේකයෙන් කාලය ගත කළේය. එහෙත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජිම් පුහුණුවීම්වල යෙදෙමින් සිය ශක්තිය වර්ධනය කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියේ ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස තරගාවලියක්

3-0 ක් වශයෙන් ජය ගැනීමේ අපේක්‍ෂාවෙනි.

ඒ අනූව තරග කී‍්‍රඩා නොකළ ළහිරු මධුෂංකට අද සංචිතයේ ස්ථානයක් හිමිවීම ස්ථිරව ඇති අතර සධීර සමරවික‍්‍රම සහ ළහිරු කුමාරටද ස්ථානයක් ලබාදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබුණි. කෙසේ වෙතත් කණ්ඩායම සමබර කළ හැකි ආකාරයට අදාළ වෙනස් කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසීය.

Share this: