දැනට සිංගප්පූරුවේ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කර තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සටහනක, දේවගැති ජෙරොම් කියා සිටියේ ඉරිදා ‘මෙගා චර්ච් ඩේ’ නමින් දේව මෙහෙයක් පැවැත්වීම සඳහා තමා සතියක් ඇතුළත නැවත දිවයිනට පැමිණෙන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද ඉල්ලීමකට අනුව මැයි 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත දේවගැතිවරයාට විදේශ ගමන් තහනමක් පැනවීය.
කෙසේ වෙතත් ප්‍රනාන්දු මහතා පසුගිය මැයි 14 වැනිදා දිවයිනෙන් පිටව ගියේ බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ඇතුළු ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුවය.
අදාළ දේශනාවේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ප්‍රචාරය වූ අතර, එහි බුදු රජාණන් වහන්සේ ඇතුළු ආගමික පුද්ගලයින්ට අවමන් සහගත ප්‍රකාශ ඇතුළත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති විය.
එවැනි ප්‍රකාශයන් ආගමික ගැටුම් ඇති කර රටේ සහජීවනයට හානි කළ හැකි බව පවසමින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි 15 වැනිදා රහස් පොලිසියට නියෝග කළේය.
නව භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය (PHU) ද දේවගැතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.