ශ්‍රී ලංකා ජාතික කොඩිය භාවිතය පිළිබද රීති මාලාවල නීති මාලාවක් බවට පත් කිරීමටත් විකෘති කොඩි නිෂ්පාදනය කරන්නන්ට එරෙහිවත් පියවර ගැනීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශයේ පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරියේ හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සම්මත කර ඇති SLS 693:1985 දරණ පිරිවිතරයන්ට පටහැනිව විවිධ ආයතන මගින් ජාතික කොඩිය නිෂ්පාදනය කෙරෙන බවත්, ඒවා විවිධ අවස්ථාවල භාවිත කෙරෙන බවටත් පැමිණිලි ලැබී ඇත.
එවැනි කොඩි නිෂ්පාදනයට හෝ භාවිත කිරීමට එරෙහිව ගතයුතු ක්‍රියා මාර්ග එහිදී සාකච්ඡා වුනු අතර, මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරී පණත යටතේ රෙගුලාසි පැනවීමටත්, ඊට අදාල ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණයකට එළැඹිණ.
තවද, ඊට අනුව ජාතික කොඩි නිෂ්පාදකයින්ට අදාල රෙගුලාසිවලට අනුව කටයුතු කිරීම සඳහා මාස 06 ක සහන කාලසීමාවක් ලබා දීමටත්, ඉන් අනතුරුව ද එවැනි විකෘති කොඩි නිෂ්පාදනය කෙරෙන ආයතන වෙතොත් ඒවාට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා නීතිමය පියවර ගැනීමටත් මෙහි දී තීරණය විය.
මීට අමතරව දීර්ඝ කාලීන පියවරක් වශයෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කල යුතු රෙගුලාසි සංග්‍රහය නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා මේ වනවිට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
1986 වසරේ දී සම්පාදනය කරන ලද රීති සංග්‍රහයට අනුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කල යුතු පියවර දක්වා තිබේ. මෙය රීති මාලාවක් පමණක් වන අතර, කැබිනට් අනුමැතියෙන් අනතුරුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අදාල නීති නොතකා හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපාදන ස්ථාපිත කෙරෙනු ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.