වෙලාව යන්තම් උදෑසන 6.30ට පමණ වන විට තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවෙස අසලට අප පැමිණෙද්දීත් 50කට ආසන්න පිරිසක් රැස්ව සිටිනු දැකගන්නට ලැබිණි. ගේට්ටුව අසල මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා හැරුණු විට කාල්ටන් නිවෙසේ කාර්ය මණ්ඩලයේ කිසිවකුත් දක්නට නොලැබිණි.
අවස්ථාවේ හැටියට ඇතුළට යෑමට ඇති එකම ක්‍රමය බවට පෙනුණ නිසාම අපි කණ්ඩායමද කෙමෙන් කෙමෙන් දික්වන පෝලිමට එකතු වුණෙමු.
ටික වේලාවක් පෝලිමේ සිටින විට උරහිසට යමකු තට්ටුවක්ද දමනු දැනුණු නිසා හැරී බැලූවිට අප පිටුපසින් සිටි කාන්තාව වඩාගෙන සිටි අවුරුදු තුනක් පමණ විය හැකි කුඩා දරුවා “ඔයා ආවෙත් මගේ ජනාධිපති බලන්නද” ඇසුවේ මොහොතකට අප සැමට සිනාවක් කැන්දමින්ය. හිස සලා එය අනුමත කරමින්ම ඔයා ආවේ කොහේ ඉඳලද? පෙරළා
දරුවාගෙන් ඇසුවෙමු. ඔහු වහා සිය මිත්තණියගේ මුහුණ බැලුවේ ඇගෙන් උදවු ඉල්ලන්නටය. “අපි ආවේ කුලියාපිටියේ ඉඳලා කියන්න පුතේ.”
ආගිය තොරතුරු කතා බහ කරන අතරේ අපට දැනගන්නට ලැබුණේ ඔවුන් එදින එනම් බක් මස පුන් පෝහෝ දා පැවැත්වෙන ධර්ම දේශනයට සහභාගි වීම සඳහා ඉතා අපහසුවෙන් අවසර ලබාගත්තේ මීට පෙර පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ ජනාධිපතිතුමා මුණනොගැසුණු නිසා බවයි.
අපට කලින් ලද තොරතුරකින් කියැවුණේ රාජපක්ෂ මහතා 2004 වසරේ අගමැති වූ කාලයේ සිට පවත්වාගෙන ආ පුරුද්දකට අනුව පොහොය දින ධර්ම දේශනයට සහභාගි වීම අනිවාර්ය බවයි.
විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට වදනකින් දෙකකින් පිළිතුරු දෙනවා හැර හිටපු ජනපතිවරයා කිසිදු දේශීය මාධ්‍ය ආයතනයකට මේ වන විටත් දීර්ඝ සාකච්ඡාවක් ලබාදී නොතිබුණු අතර ඇතැම් විදෙස් මාධ්‍ය කිහිපයකට පමණක් ඉතා කෙටි සම්මුඛ සාකච්ඡා ලබාදී තිබිණි.
“කලින් වෙලාවක් වෙන් කරගත් විශේෂ අමුත්තකු නොවන කාට වුණත් උපරිම ලැඛෙන්නේ විනාඩි පහයි කතා කරන්න.”
අපට එතුමා අනිවාර්යයෙන්ම තංගල්ල නිවෙසේ සිටින බවට තොරතුරු ලබාදුන් තැනැත්තා පැවැසීය.
අහන්න, පැහැදිලි කරගන්න බොහෝ දේ තිබුණත් විනාඩි පහක් තුළ ඇසිය යුතු අත්‍යවශ්‍යම කාරණා මනසින් සකසමින් සිටින අතරතුරේදී ගේට්ටුව විවර වී එකිනෙකා ඇතුළු කරගන්නා ලදී.
ඒ වන විටත් නිවෙසේ ඉදිරිපස කොටසේ වාඩි වී සිටි බොහෝ දෙනා පැමිණ තිබුණේ විවිධ උත්සව සඳහා රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමට බව කතාබහෙන් අපට වැටහිණි.
මේ අතර ඇතැමෙක් පැමිණ ජනාධිපතිතුමා නිවෙසේ ඉන්නවාද කියා කාර්ය මණ්ඩලයෙන් විපරම් කරති. ඇතැමෙක් පැමිණ බිත්තියේ එල්ලා ඇති එතුමාගේ ඡායාරූපවලට වන්දනාමාන කරති. පසෙක වූ මේසයක් මත සී.ආර්. පොත් විස්සක තිහක ගොඩක් වෙයි. ඊට එහායින් විවිධ පුද්ගලයන් විසින් ඇඳ ජනපතිතුමාට පිළිගැන්වූ එතුමාගේ චිත්‍ර ගොඩකි.
“ඔය තියෙන්නේ ජනවාරි 9-10 ඉඳන් ආපු කට්ටිය අඩ අඩා ලියල ගිය දේවල්. එන යන කට්ටිය එයාලට හිතෙන දේවල් ලියලා යන්න පොතක් දාන්න කිව්වා” අප එදෙස බලන විට කාර්ය මණ්ඩලයේ අයෙක් පැවැසූහ.
උදෑසන අටට පමණ පැමිණි කළු පාට ජීප් රථයකින් බැස ආ හිටිපු ජනාධිපතිවරයා කාටත් පොදුවේ සිනාවකින් සංග්‍රහ කොට නිවෙස තුළට ගියේය.
කාර්ය මණ්ඩලයේ අයකු කළ දැනුම්දීමක් අනුව පැමිණි එතුමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අපගෙන් පැමිණි කාරණය විමසා සිටියේය.
“ඉන්ටවිව් නම් දෙයිද දන්නේ නැහැ. මට මොකුත්ම කියන්න බැහැ. එක දෙයක් කරන්න පුළුවන්. ඒ ඔයාල කොළඹ ඉඳන් ඇවිත් ඉන්නවා කියලා බණ පටන් ගන්න කලින් ඇතුළු කරලා දෙන්නම්” ඔහු පැවැසුවේ ඉන් එහාට වන සියලු දේම ඇත්තේ අපේ අතේ බවට නොකියා කියමිනි.
සුළු මොහොතකින් නිවෙසේ ඉදිරිපස පිහිටි කාර්යාල කාමරය වෙත අපට කැඳවීමක් ලැබුණෙන් එහි ගිය අපගෙන් සිනාමුසුව රාජපක්ෂ මහතා ඇසුවේ zකොළඹ ඉඳන් තකහනියේ මෙහෙට එන්න ලොකු හේතුවක් ඇති නේද? කියායි.
“අපි ආවේ ජනවාරි අට වැනිදායින් පස්සේ ඔබතුමාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නෙ කියලා දැක බලාගෙන ලිපියක් ලියන්න. ඒකට ඔබතුමා එක්කත් චුට්ටක් කතා කරන්න”
අපි පැහැදිලි කෙරුවෙමු.
“ආ ඒකට නම් කමක් නැහැ. ඔය ඕන තරම් කට්ටිය ඉන්නේ එළියේ. එයාලත් එක්කත් කතා කරලා ඔයාලට ඕන විදියට ලිපිය සකස් කරගන්න. මට ඉතින් වැඩිදෙයක් කියන්න නැහැ. එහෙම ලිපියක් නම් කමක් නැහැ හැබැයි දේශපාලන කරුණු ගැන නම් මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. මම තවම මෙහෙ පත්තරවලට ඉන්ටවිව් දෙන්න හිතුවේ නැහැ. ඒක නිසා මගෙන් වැඩි දෙයක් අහන්න එපා.” ඔහු මුලින්ම කොන්දේසියක් දැම්මේ අපට ඉතිරිව තිබූ පුංචි බලාපොරොත්තුවත් නැති කර දමමින්ය.
වටපිට බලද්දී ඒ වන විටත් දොර ළග රැස්ව සිටි සෙනග දුටු මා “ඔබතුමාට මේ සෙනග දකිද්දී මොකද හිතෙන්නේ” කියා ඇසුවේ වෙන දෙයක් වුණාවේ කියායි.
zzමට මිනිසුන්ගේ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ ආදරය මහ ඉහළින් දැනෙනවා~ එතුමා පිළිවදන් දුන්නේ ඉඳ සිටි පුටුවේ තවත් හොඳින් පිටුපසට වෙමිනි. දැන් නම් යන්තම් බුරුලක් ලැඛෙන බව වැටහුණෙන් ජනවාරි 08 වැනිදායින් පසුව ජීවිතේ ඔබතුමාට දැනෙන වෙනස මොකක්ද දැයි අපෙන් තවත් පැනයක් යොමු විය. “ඇත්තටම බලය නැති එක ඇරෙන්න මට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද මට දැන් වෙනදාටත් වඩා පුණ්‍ය කටයුතුවලට, උත්සවවලට, බෝධි පූජාවලට, එතකොට ඔය පන්සල්වල උත්සවවලට ආරාධනා ලැඛෙනවනේ. ඉතින් ඕවට යද්දි විවේකයක් නැහැ. පැරැදුණද කියලා දැනුනෙත් නැහැ.” රාජපක්ෂ මහතා කියයි.
“ඔබතුමාට චෝදනාවක් තියෙනවා නේද පන්සල් ගාණේ ගිහින් ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න හදන්නෙ කියලා.”
“පන්සල්වලින් ආරාධනා කරන එක මගේ වැරැද්දක්ද? මිනිස්සු මම ගියාම මාව වට කරගෙන අඬන එක, කතා කරන එක, දුක්වෙන එක, ආයේ එන්න කියන එක මගේ වරදක්ද? ඔය අනුකම්පාව ගන්න හදනවා කියන චෝදනාව මට අද ඊයේ ආපු එකක් නෙවෙයිනේ 2005දී ඡන්දෙට එද්දිත් කිව්වේ මල් වට්ටි උස්සන් පන්සල් ගාණේ දිව්වට දිනන්න බැහැ කියලනේ අපේම සමහරු කිව්වේ. ඉතින් මම දින්නේ නැද්ද එදා?” ඔහුගෙන් පෙරළා ප්‍රශ්නයක්.
“දැන් එකකොට ඔබතුමා ඔය නැවත වටයකින් ක්‍රියාත්මක කරන්න හදන්නේ 2005 ක්‍රමයමද? කොටින්ම කිව්වොත් මේ හදන්නේ අටවැනිදා ලැබුණු පරාජය ජයග්‍රහණයකට පෙරළාගන්නද?”
“ඒක ඉතින් තීරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි. ජනතාවගේ හඩ තේරුම් ගන්නවාද ඒකට ඇහුම්කන් දෙනවාද නැද්ද කියන එක එයාලගේ තීරණයක්. හැබැයි එක දෙයක් මතක් කරලා දෙන්න ඕනේ ඔය කෑ ගහන හැමෝටම. ඒ තමයි මම තවම කොතැනකදීවත් කියලා නැහැ මම දේශපාලනයෙන් සමුගන්නවා කියලා.” ඊට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා පැවැසීය.
නමුත් පිළිගන්න කැමැති වුණත් අකැමැති වුණත් සත්‍ය තත්ත්වය වන්නේ මේ රටේ බහුතර ජනතාවක් ඔබතුමා තවදුරටත් එපා කියලා පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළ බව නේද? මව්බිමෙන් එතුමාට තවත් ප්‍රශ්නයකි.
ඊට පිළිතුරු දෙමින් එතුමා පැවැසුවේ කුමන්ත්‍රණයක් කවර ආකාරයකින් ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට තැත් කළත් කුමන්ත්‍රණය කුමන්ත්‍රණයක්ම මිස ජයග්‍රහණයක් නොවන
බවයි.
“බලවත්ම රටවල් කිහිපයක තානාපති කාර්යාල තුන හතරක් ජාත්‍යන්තර සංවිධාන දෙකක් සමග එකතුවෙලා කුමන්ත්‍රණයක් දියත් කරන කොට ඒකට මුහුණ දෙන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.”
එතුමාගෙන් අප තවදුරටත් විමසා සිටියේ පරාජයට හේතුව වුණේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව දැක්වූ ඍණ ආකල්පය සහ මන්දගාමී ස්වභාවය බව එතුමා විශ්වාස කරන්නේ නැති ද කියායි.
“මට උතුර නැගෙනහිර දෙමළ ජනයාගේ ඡන්ද නොලැඛෙන බව මම මුල ඉඳලම දැනගෙන හිටියා. මට යම් කනගාටුවක් තියෙන්නේ බොදු බල සේනා වැනි සංවිධානවල ක්‍රියාකලාපයන් නිසා මුස්ලිම් ජනතාව යම්තාක් දුරකට නොමග යෑම විපක්ෂය උපරිමයෙන් ප්‍රයෝජන ගත්ත එක” ඔහු පැවැසීය.
මුස්ලිම් ජනයාගේ ඡන්ද නොලැඛෙන බව දැන සිටියා නම් මුස්ලිම් ජනයා තමුන් වෙත ළගා කරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් නොගත්තේ ඇයි? අපි ඇසුවෙමු.
“බොදු බල සේනාව පාලනයකින් තොර වෙන බව දැනෙන විටදීම අප මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. එතැනදී චම්පික රණවක ඇමැතිතුමා ලොකු කලබලයක් කළා බොදු බල සේනාවට කිසි කෙනෙක් අත තියන්න එපා කියලා. මේ ක්‍රියාකලාප නිසා මුස්ලිම් ජනයා තුළ තිබුණ විශ්වාසය යම් ලෙසකින් පලුදු වුණා. මම මේකත් අවුරුදු දෙකක් පුරාවට මට විරුද්ධව ක්‍රියාත්මක වුණ බව ඔවුන් විසින්ම පිළිගත් කුමන්ත්‍රණයේ කොටසක් බව තේරුම් ගද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.” හිටපු ජනපතිවරයා පැවැසුවේය.
නමුත් හිටපු ජනාධිපතිතුමනි ඔබගේ පරාජය තනිකරම සුළු ජාතීන්ගේ ඡන්ද නිසාම සිදු වූවක් නෙවෙයි නේද? ඒ කාලේ ඇති වූවා යැයි කියන මහා පරිමාණ දූෂණ හා වංචා ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
“එදා ජනවාරි 9 වැනිදා එළිවෙනකොටම මට නියෝග ආවා වහාම පැය 24ක් තුළ සියල්ල ඉවත් කරගෙන මා වාසය කළ ස්ථානය භාර දිය යුතු බව. මට අද වගේම එදත් ගෙවල් දෙකක් තිබුණා. එකක් තංගල්ලේ. අනික කොළඹ. මම හිතුණ ගමන් බෑග් එකකට ඇඳුම් දාගෙන තැනකින් තවත් තැනකට යන්න පුළුවන් තනි මිනිහෙක් නෙවෙයි. පවුලක් විදියට ජීවත් වෙන මනුස්සයෙක්. එහෙම ඉන්නකොට කියපු ගමන් අකුළාගෙන යන්න බැහැ. නමුත් අදාළ නියෝගයට ගරු කරලා ගන්න පුළුවන් දේවල් අරන් අපි මෙහෙට ආවා මණ්ඩලයේ අය අදාළ නිලධාරීන්ගේ උපදෙස් මත ඉතිරි බඩු කන්ටේනරයකට පටවලා තියෙනවා. ඉතුරු ඒවා හැකි ප්‍රමාණයෙන් ඉවත් කරගෙන තියෙනවා. එහිදී ඔවුන් සියල්ල ඉවත් කළා මිසක් ලබාදී තිබුණ සීමිත කාලයේදී ඒවා කළ යුත්තේ කොහොමද කියලා හිතන්න නැතිව ඇති. එසේ ගෙන ගිය ඒවා තමා ඔය අහවලාගේ ගෙදරින් මතු වුණා, මේ ගොඩනැගිල්ලෙන් මතු වුණා කිව්වේ. ඒකත් හොඳයි. ඕවා ගැන මම හොයනවාට වඩා පොලිසියෙන්ම නිසි පරිදි හොයන එක හොඳයි.”ඔහු පැහැදිලි කළේය.
ආණ්ඩුව දිගින් දිගටම සංවර්ධන කටයුතු දියත් කිරීමේදී තම රජය දූෂිත ලෙස කටයුතු කළ බවට කරන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් එතුමා වත්මන් ආණ්ඩුවට අභියෝග කළේ හැකි නම් ඉදිරිපත් කරන ඇස්තමේන්තුවලට අනුව අධිවේගී මාර්ගයක් සාදා පෙන්වන ලෙසයි.
“අධිවේගී මාර්ගයකට හෝ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යන වියදම කඩේ තියෙන සීනි කිලෝවකට එහෙම නැත්නම් පරිප්පු කිලෝවක ගාණ කියනවා වගේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පාරට යන මුළු වියදම පාරේ කිලෝමීටර් ගාණෙන් ඛෙදලා කිලෝ මීටරයකට මෙච්චර ගාණක් යනවා කියලා කියන්න කාටවත් බැහැ. මොකද එක කිලෝමීටරයක් තුළ තිඛෙන පාලම් ගණන, බෝක්කු ගණන, එතකොට පාර පොළොවට ඉහළින් ඉදි කරනවාද එහෙම නැත්නම් පොළොවේ ඉදි වෙනවාද කියන කාරණා මත එක එක කිලෝමීටරයට යන වියදම වෙනස් වෙනවා. තමුන් ගැන ඔය තරම්ම විශ්වාසයක් තියෙනවා නම් ඇයි කටුබැද්ද විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිළියෙල කළ වාර්තාව එළි දක්වන්නේ නැත්තේ?” ඔහු විමසයි.
ඇතැමුන් මේ වන විට රටට දී ඇති ප්‍රතිරූපය වන්නේ මේ රටේ සිටින එකම දූෂිතයන්, වැරැදිකරුවන් වන්නේ තමුන් සහ තමන්ගේ පවුලේ සාමාජිකයන් පමණක් බව එතුමා පෙන්වා දෙයි.
“අවුරුදු නවයක්ම ඔවුන් කළේ මාව වර්ණනා. අපි වැරැදි කළා නම් දැන් මේ කෑ ගහන අය එදා කටවල් වහගෙන හිටියේ ඇයි?”
“ඔවුන් කියන්නේ නම් එයාලා කට ඇරියේ නැත්තේ දැන දැන තමුන්ගේ ජීවිතේ අවදානමට ලක්කරන්න වුවමනාවක් නැති නිසා කට වහගෙන හිටිය කියලනේ.”
“එතකොට මගේ රජයේ අවසන් කාලයේදී ඔවුන් යම් යම් විවේචන ඉදිරිපත් කළේ ඔවුන්ගේ කුමන්ත්‍රණය සාර්ථක වන බව විශ්වාස වුණ නිසාද? මට ප්‍රශස්ති ගී ගයන එක තමයි තමුන්ගේ පැවැත්මට කළ යුතු එකම දේ කියලයි ඔවුන් හිතුවේ. මට දැන් ඉදිරිපත් කරන විවේචනවලින් මම සැලෙන්නේ නැහැ. මොකද මට මේවා නුපුරුදු දේවල් නෙවෙයි” ඔහු කීවේය.
“ඕක අරුම පුදුම දෙයක් නෙවෙයි. මම මේ රටේ දේශපාලනය කරන්නේ අද ඊයේ නෙවෙයි. බලය නැහැ කියලා හරි බලය අඩු වෙනවා කියල හරි දැනුණ ගමන් ඔය කට්ටිය යනවා බලය තියෙන තැනට. තමුන්ට වාසියක් ගන්න බැරි නම් එතැන රැඬෙන්නේ නැහැ.”
“ඔබතුමා දැන් පසුතැවෙන දෙයක් තියෙනවද මම මේක මේ විදියට නොකළා නම් හොඳයි කියලා හිතෙන?”
“පසුතැවෙනවා කියලා කියන්න පුළුවන් දෙයක් නම් නැහැ. පසුතැවීමක්ම නොවුණත් මට හිතෙනවා මම කරපු වරදක් කියල ඇතැමුන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නොසලකා හැරීම. ඇතැමුන් මට පුන පුනා යම් පුද්ගලයන්ගේ වැරැදි පෙන්වා දෙද්දීත් මම ඒවාට අදාළ ක්‍රියාමාර්ග ගත්තේ නැති එක මගෙන් වුණ වැරැද්දක්. වෙන කවරදාකටත් වඩා මම මේ වැරැද්ද තේරුම් අරන් ඉන්නවා. ඒ වගේම මම අනාගතයේ කවදාවත් ඒ වැරැද්ද නැවත කරන එකක් නැහැ. මම කිසි දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ. මොකද මේක මට හොඳ අවස්ථාවක් සලසලා දුන්නා මිනිස්සු කවුද කියල හරියට තේරුම් ගන්න.”
“ඔබතුමාට විතරක්ම නෙවෙයි නේ දැන් චෝදනා එල්ල වෙන්නේ…. ඔබේ පවුලේ සාමාජිකයන්ටත් චෝදනා තියෙනවා? ඔබේ දරුවන් ගැන කියන කතා ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ?”
අපේ පැනය ඔහුව මොහොතකට නිහඩ කළා. හැගීම්බර වූ මුහුණ යළි ප්‍රකෘතිමත් කරගත් එතුමා අපට පිළිතුරු දුන්නා.
“මේක මහා අසාධාරණයක්. මටත් දරු කැක්කුම, සහෝදර කැක්කුම කියන එක තියෙනවා. දැන් බලාගෙන යනකොට අපරාධ කරලා තියෙන්නේ රාජපක්ෂලා විතරයි. මුළු කැබිනට් මණ්ඩලයම ශුද්ධවන්තයෝ.”
“ඒ වුණත් ඔබතුමාට පරදින්න සිද්ධ වුණේ ඔබගේම සහෝදරයා අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය නිසා කියලා නේද බොහෝ දෙනා කියන්නේ”
“මම හිතන්නේ නැහැ. ඕව ඉතින් එක එක්කෙනාගේ අදහස් නේ. මම දේශපාලනයට ආවේ මීට අවුරුදු හතළිහකටත් කලින් මිසක් අද ඊයේ නෙවෙයිනේ. පැරැදුණාම ඒක වුණේ අරයා නිසා නැත්නම් මෙයා නිසා කියන එක සාමාන්‍ය දෙයක්. මට මතකයි ඔය චෝදනාව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට, අනුර බණ්ඩාරනායකට විතරක් නෙවෙයි මැතිනිටත් එල්ල වුණා. ඕක අර එක රාජපක්ෂ කෙනෙක් නෙවෙයි නම් අනික් රාජපක්ෂගේ වැරැද්ද කියන එකනේ. මුළු කැබිනට් මණ්ඩලයම වැරැදි නැහැ. වැරැදි අපියි කියනව නම් ඒක පිළිගන්නත් එයට මුහුණ දෙන්නත් අවශ්‍ය ශක්තිය මට තියෙනවා.”
“එතකොට ඔය ඇමැතිවරු පස්සේ බුද්ධි අංශ නිලධාරීන් යෙදෙව්වා කියන එකේ ඇත්ත මොකක්ද?”
“අමූලික බොරු. එහෙම යෙදෙව්ව නම් අවුරුදු දෙකක් පුරා කරපු කුමන්ත්‍රණ අහු නොවී තියේවිද? එයාලට රෑ 12.00ට ගෙවල්වලින් පිටවෙලා එක එක අය මුණගැහෙන්න පුළුවන්ද? හැබැයි ඔන්න දැන් එයාල නම් අපේ පස්සේ ඔත්තුකාරයෝ එවනවා. මේ දැන් ඔබ මාත් එක්ක කතා කරද්දීත් ඔතැන දොර ළග එයාලා ඉන්නවා. බණ අහන තැන අඩුම තරමේ හතර දෙනෙක්වත් ඇති. මම යන යන තැන එනවා.”
“දැන් ඔබතුමා කවද්ද පීකොක් මාලිගාවට යන්නේ?
“මම දන්නේ නැහැ. තවම යන්නේ කොහෙද කියලා මම තීරණයක් අරන් නැහැ. එක එක්කෙනා කියනවා එයාලා දෙන ගෙදර ගන්න කියලා. ඔය අතරේ මම දැක්ක පත්තරේක තියෙනවා ඔය පීකොක් එකේ පිහිනුම් තටාකය අසුබයි කියල ඒක පුරවනවා කියලා. අනේ මම ඔව්ව දන්නේ නැහැ. මම දැක්කෙත් නැහැ. වෙලාවකට හිතෙනවා නිකන් දෙන එකේ ගෙයක් නේ මොකද නොගෙන ඉන්නේ කියලා. දුන්නොත් ගන්නවා”තරමක් උස්හඩින් සිනා සෙමින් ඔහු පැවැසීය.
“දැන් එතකොට ඔය තියෙන ගෙවල්වලින් ජ්‍යොතිෂයට අනුව කෝකද වැඩිය හොඳයි කියන්නේ? ඔබතුමා තදින් ඕවා විශ්වාස කරනවා කියලා අහල තියෙනවා.”
“නැහැ නැහැ. දැන්නම් මම ජ්‍යොතිෂය ගැන විශ්වාස කළත් ඔය එක එක්කෙනා කියන අනාවැකි ගැනනම් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. මගේ හිතට දැනුණොත් මේ දේ මෙන්න මේ වෙලාවේ කළොත් හොඳයි කියල මම අන්න ඒ මට හිතෙන වෙලාවට ගන්න ඕන තීරණ ගන්නවා”
“දැන් කට්ටිය නම් කියන්නේ රාජපක්ෂ යුගය අවසානයි කියලා.”
“ඒ කියන අයට මම කියන්නේ වටපිට බලන්න… බලලා තීරණය කරන්න ඒක එහෙමද කියලා.”
ගගනි වීරකෝන්
මව්බිම ඈසුරින්