ජනවාරි 08 වුනු දෙය ජනතාව ජනතාව අනුමත කළා

ජනවාරි 08 වුනු දෙය ජනතාව ජනතාව අනුමත කළා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉකුත් ජනවාරි මස 08 වෙනි දින සිදු කළ විප්ලවය ජනතාව විසින් තවදුරටත් තහවුරු කළ බවයි.

තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඉදිරියේදී සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡා කොට ජාතික වැඩපිළිවෙළක් සකස්කිරීමටත්, සම්මුතියකට ඒමටත් සූදානමින් සිටින බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමෙන් හෝ පාර්ලිමේන්තුවේ තනතුරු ලබාගැනීමෙන් හෝ යන ක්‍රම දෙකටම සහයවෙමින් රට ඉදිරියට ගෙනයාමට කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තවදුරටත් ඔහු පැවසුවේ, පවත්නා ව්‍යවස්ථානුකූල විධිවිධාන වලට අනුකූලව අමාත්‍ය තනතුරු හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු මෙන්ම පාර්ලිමේන්තුව තුළ වි‍ශේෂ තේරීම් කාරක කමිටු ස්ථාපිත කිරීමටත්, දිස්ත්‍රීක් සංවර්ධනය සඳහා දිස්ත්‍රීක් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල ස්ථාපිත කොට එහි සභාපති තනතුරු මන්ත්‍රීවරුන්‍ට ලබාදීමටත්, මීට අමතරව ග්‍රාම රාජ්‍ය – පොකුරු ගම්මාන ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බවයි.

තවද මීට අමතරව සිවිල් සංවිධානවල උපදෙස් ගැනීමට උපදේශක සභාවක් ස්ථාපිත කිරීමට සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා අද (19) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

මේ අනුව සර්ව ආගමික නායකයින්ද ඇතුළුව සියලුමදෙනා ඒකරාශි කරගෙන ඉදිරි වසර 5 නැතිනම් 2 තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට එකඟතාවක් ඇතිකර ගැනීම අවශ්‍ය බවත්, ජාතික එකඟතාවක් ඇතිකරගෙන එමගින් ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථාපිත කරගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අනෙකුත් සියලුම පක්ෂ නායකයින් සමගද සම්මුතිවාදී වැඩපිළිවෙළකට යාමට මෙම යහපාලනය අනුමත කරන ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින බවත්, ඊට සම්මුතිවාදීව එකතුවන ලෙස ආරාධනා කරන බවත්, ඊට පිටුපෑම ජනතා වරමට පිටුපෑමක් බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා‍ කළ බවත්, මේ සතිය තුළ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Share this: