ජනවරම සුරකිමින් විපක්ෂයේ සිට කටයුතු කරනවා

ජනවරම සුරකිමින් විපක්ෂයේ සිට කටයුතු කරනවා

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ, ජාතික ලැයිස්තුවෙන් සන්ධානයට මන්ත්‍රීවරු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, ජාතික ලැයිස්තුව මංකොල්ලකා ඇති බවත්ය.

ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

තවද මේ හේතුවෙන් මේ වන විට සන්ධාන පාක්ෂිකයෝ අතරමං වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එසේම පිවිතුරු හෙළ උරුමය ලෙස මැතිවරණයේදී බුලත් කොලයට කතිරය ගැසූ ජනතාවගේ ජනවරම සුරකිමින් විපක්ෂයේ සිට කටයුතු කරන බව සහ ශ්‍රීලනිප වර්තමාන නායකත්වය යටතේ තම පක්ෂය ඉදිරියේදී මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බව ඔහු පැවසුහ.

තවද එජාපයේ කීකරු බලු පැටියෙකු බවට විපක්ෂය පත්කරගනිමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ඉදිරියේදී මානව හිමිකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය යාන්ත්‍රයක් මුවාවෙන් ගෙන එන ජාත්‍යන්තර පරීක්ෂණයට තමන් ඇතුළු පිරිස විරුද්ධ බවත්, මෙයට එරෙහිව ජනතාව පෙලගස්වන බවත්, ඔහු එහිදී අවධාරණය කළේය.

ඒකීය රාජ්‍ය යටතේ උපරිම බලය බෙදීමකට යන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන බවත්, බලය බෙදු විට නැවතත් එම බලය මධ්‍යම රජයට ගතහැකිද යන්න ප්‍රශ්න සහගත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share this: