ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් 2 ට සහය දක්වන්න අපේක්ෂකයෝ 13 ජනපති සටනේ

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් 2 ට සහය දක්වන්න අපේක්ෂකයෝ 13 ජනපති සටනේ

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය.

මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය.

මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු කීය.

මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවය. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද ඔහු කීය.

මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි ක්‍රියා වැළැක්වීමට ආධාර වනු ඇති බව ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Share this: