ඡන්දෙට ආවොත් දිනන බව නියතයි

ඡන්දෙට ආවොත් දිනන බව නියතයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, තමා ඉදිරි මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා වේදැයි නොදන්නා නමුත් මැතිවරණයට තරඟ කරනු ලැබුවහොත් ජයග්‍රහණය කරන බවයි.

ඔහු මේ බව සඳහන් කළේය, අල්ජසීරා පුවත් සේවය වෙනුවෙන් මිනෙල්ලේ ෆර්ඩිනැන්දිස් සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු දිනයේ තව දුරටත් බලය පාවිච්චි කරමින් බලයේ රැඳී සිටීමට උත්සාහයක් තිබුණේදැයි මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ එකී චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එසේම තමාට බලය අහිමි බව දැනගත් මොහොත්ම තමා එය හැරයාමට තීරණය කළ බව ඔහු අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසන ලදුව අල්ජසීරා මාධ්‍යවේදිනියට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ එකී චෝදනා තමාට එරෙහිව මනා සංවිධානාත්මක ලෙස ගොඩනඟන ලද ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවයි.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිමා කරන්නට ගෙවන්නට සිදුවූ වන්දිය සාධාරණදැයි මේ මොහොතේ පිළිගන්නවාදැයි රාජපක්ෂ මහතාගෙන් විමසන ලදුව ඔහුගේ ප්‍රතිචාරය වූයේ එය සාධාරණ බැව් තමා මේ මොහොතේද පිළිගන්නා බවයි.

එසේම එසේ කැපකිරීමක් නොකළේ නම් මේ මොහොතේ පවා යුද්ධය දිගඇදෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Share this: