චරිත සහ භාවනා

චරිත සහ භාවනා

විවිධ පුද්ගලයන් සහ චරිත පිළිබඳ වර්ගීකරණයක් සහ පැහැදිලි කිරීමක් බුද්ධ ධර්මයේ සඳහන් වේ. පුද්ගලයා එක් අයෙකු වුවද ඔහු හෝ ඇය තුළ විටින් විට ඉස්මතුවන රාගාදී කෙලෙස් හෝ සද්ධාදී ලක්ෂණ අනුව පුද්ගල චරිතය වෙනස් වේ, විවිධාකාර වේ. කෙනෙකුගේ චරිතය තුළ විටෙක රාගය වඩාත් ප්‍රබලව ඉස්මතු විය හැකිය. එවිට කළ යුත්තේ රාගය ඉස්මතු වූ බව අවබෝධයෙන් දැන එය යටපත් කර සිත එක`ග කර ගැනීමයි. තවත් විටෙක එම පුද්ගලයා තුළ මෝහය හෙවත් නොදැනීම ඉස්මතු විය හැකිය. එවිට කළ යුත්තේ මෝහය යටපත් කර සිත එක`ග කර ගැනීමයි. ඇතැමුන් ස්වභාවයෙන් ම රාගයෙන් යුක්ත ය.

නැතහොත් මෝහයෙන් යුක්ත ය. සිතේ ඇති වී ඇති අකුසල් දුරු කිරීම සඳහා සිය චරිතයට ගැළපෙන ආකාරයේ භාවනා අරමුණු හෙවත් කමටහන් තෝරා ගැනීමට භාවනානුයෝගියා සැලකිලිමත් විය යුතුය. මෙම ලිපියෙන් පළමුව සිදු කෙරෙන්නේ විවිධාකාරයේ චරිත පිළිබඳ විමසා බැලීමකි. අනතුරුව ඒ ඒ චරිතයට ගැළපෙන කමටහන් පිළිබඳ විවරණයක් ඉදිරිපත් කෙරේ.

පුද්ගලයා තුළ බහුලව දක්නට ලැඛෙන ගති ලක්ෂණ පදනම් කර ගනිමින් රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතර්ක චරිත යනුවෙන් ප්‍රධාන චරිත වර්ග හයක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

රාගය බහුල තැනැත්තා රාග චරිතයා යි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් රාගය යනු ලෝභය යි. මානය ද ඒ හා එක්ව පවත්නා බැවින් රාග චරිතයාට මානය ද ඇත. පුද්ගලයන්ට සහ භෞතික වස්තූන්ට තදින් ඇලූම් කරන බව, කොතෙක් ලැබුණත් ඉන් සෑහීමකට පත් නොවන බව, අසන්නන්ගේ හා දකින්නන්ගේ ප්‍රසාදය ඇතිවන අන්දමට කරන කියන වැඩ කටයුතු කිරීම, යන-එන ගමන්-බිමන්වල නියැලීම, අඳින-පළඳින දෑ තෝරා ගැනීම රාග චරිතයාගේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයකි.

නිතර අනුනට ද්වේෂ කරන, ද්වේෂය බහුල තැනැත්තා දෝස චරිතයා යි. නිතර කිපෙන සුළු බව, ඉතා සුළු කරුණුවලට පවා කෝපවන බව, අන් අය සම`ග වැඩි කල් මිත්‍රශීලීව සිටිය නොහැකි බව, බොහෝ ක්‍රියාවන්වල දී කලබලවන සහ බියවන ගතිය, ඉක්මනින් වෙනස් වන බව, අන් අය කෙරෙහි විශ්වාසය තබා නොගන්නා බව ආදිය දෝස චරිතයාගේ ලක්ෂණවලින් කිහිපයකි.

මෝහය බලවත්ව ඇති තැනැත්තා මෝහ චරිතයා වෙයි. නිතර මුළා වන බව, ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අපහසු බව, රැවටෙන සුළු බව, අනුන්ගේ කීම් බස් අනුව යුතු අයුතුකම් සහ හොඳ නරක තීරණය කරන බව, පිළිගත් වැරදි හැ`ගීම් සහ විශ්වාසයන් දුරු කිරීමට දුෂ්කර බව, කවර දෙයක් වුවද හරියට කිරීමට අසමත් බව මෝහ චරිතයාගේ ලක්ෂණ යි.

ශ්‍රද්ධාව අධික තැනැත්තා ශ්‍රද්ධා චරිතයා ය. පරිත්‍යාගශීලී බව, සුදනන් දැකීමේ හා ඇසුරු කිරීමේ රිසි බව, දහම් ඇසීමේ කැමැත්ත, පැහැදිය යුත්තන් කෙරෙහි පහදින බව, අගය කළ යුත්තන් අගය කරන බව, පිදිය යුත්තන් පුදන බව, ප්‍රීතිය බහුල බව ආදිය ශ්‍රද්ධා චරිතයාට ආවේණික ලක්ෂණ කිහිපයකි.
නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිතයා ලෙස හඳුනා ගැනේ. සුවච බව, කල්‍යාණ මිතුරන් ඇති බව, සිහිනුවණින් යුක්ත බව, ගැඹුරු දේ අවබෝධ කර ගැනීමේ සමත් බව, විමසා කටයුතු කරන බව, අනුන් කී සැනින් කිසිවක් හෝ කිසිවෙක් පිළිනොගන්නා බව, හැම වැඩක්ම ක්‍රමානුකූලව යම් පිළිවෙළකට අනුව සිදු කරන බව ආදිය බුද්ධි චරිතයාගේ ප්‍රමුඛ ලක්ෂණ කිහිපයකි. හෙතෙම ප්‍රඥාවෙන් හා වීර්යයෙන් කටයුතු කිරීමේ සමතෙකි.

විතර්කය බහුල තැනැත්තා විතර්ක චරිතයා ලෙස හඳුනා ගැනේ. හෙතෙම නිතර දොඩමලූ ස්වභාවයෙන් යුක්ත ය. නොයෙක් දේ ගැන නිතර කල්පනා කරයි. හැම විටම පිරිස් ඇතිව විසීමට ප්‍රිය කරයි. විතර්ක චරිතයා කුසල් කිරීමෙහි එතරම් සතුටක් නැත. ඉක්මනින් අදහස් වෙනස් කරයි. විතර්ක චරිතයාට අඛංඩව එක් දෙයක් කිරීමට ශක්තියක් නැත. විතර්ක චරිතයාට ඇත්තේ අරමුණෙන් අරමුණට දුවන අභාවිත සිතකි. ඇතැම් කරුණුවලින් විතර්ක චරිතයා මෝහ චරිතයාට සමාන ය.

ඒ ඒ චරිතයාට ගැළපෙන භාවනා අරමුණු පිළිබඳව මීළ`ගට සලකා බලමු. සෑම භාවනාවකින්ම කෙලෙසුන් යටපත් කිරීම සිදුවේ. සෑම භාවනාවකින්ම ශ්‍රද්ධාව ආදී ගුණ ධර්ම වර්ධනය කරයි. එනිසා, කුමන කර්මස්ථානයක් භාවනාව සඳහා තෝරා ගත්තද කම් නැත. නමුත් භාවනාවෙන් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට නම් අනුගමනය කළ යුතු, ඒ ඒ චරිතයට ගැළපෙන කර්මස්ථාන පිළිබඳ පැහැදිලි කිරීමක් ධර්මයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ ඒ ඒ චරිතයට ගැළපෙන භාවනාවක්, ඉරියව්වක් මෙන්ම භාවනාව සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරා ගැනීමට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දුන් ආකාරය පිළිබඳ නිදසුන් සූත්‍ර පිටකයේ බොහෝ ස්ථානවල අන්තර්ගත වේ. බුදුන් වහන්සේ මේඝිය තෙරුණ්ට එසේ උපදෙස් ලබා දුන් ආකාරය මේඝිය සූත්‍රයෙන් ප්‍රකට වෙයි.

පධන් වීර්යය වැඩීම සඳහා අඹ වනයට වැඩම කළ මේඝිය තෙරුණුවෝ කාම, විහිංසාදී සිත්වලින් පීඩාවට පත්ව තම අරමුණ ඉටු කර ගැනීමට නොහැකිව බුදුන් වහන්සේ වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ, කාමය දුරු කිරීම පිණිස අසුභ භාවනාවත්, ව්‍යාපාදය දුරු කිරීම පිණිස මෛත්‍රී භාවනාවත්, මානය දුරු කිරීම පිණිස අනිත්‍ය සංඥාවත් ආදී වශයෙන් යෝග්‍ය භාවනා අරමුණු දේශනා කොට වදාළ සේක. එසේම, සතර බ්‍රහ්ම විහරණය, අසුභ භාවනාව, කායගතාසති භාවනාව, ආනාපානා සති භාවනාව යන කමටහන් රාහුල තෙරුණ්ට යෝග්‍ය යැයි බුදුන් වහන්සේ නිර්දේශ කළ ආකාරය මහා රාහුලෝවාද සූත්‍රයේ දැක්වේ.

මින් පැහැදිලි වන විශේෂ කරුණක් වෙයි. එනම්, පුද්ගලයා එක් අයෙකු වුවද, චරිතය එකක් වුවද රාග, දෝස, මෝහ ආදී විවිධාකාර කෙලෙසුන් පුද්ගලයා තුළ විටින් විට මතු විය හැකි බවයි. එබැවින් ඒ එක් එක් කෙලෙස් හිස ඔසවා බලවත් වන විට ඒ ඒ කෙලෙස් යටපත් කර සිත පිරිසිදු කර ගැනීම සඳහා ඉවහල් වන්නා වූ කර්මස්ථානය ඉදිරියට ගෙන වැඩිය යුතුය. නිවැරදිව භාවනාව ප්‍රගුණ කරන පුද්ගලයා තම චරිතයට සහ ඒ ඒ අවස්ථාවේ හිස ඔසවා ඇති කෙලෙස් යටපත් කිරීම පිණිස හේතු වන භාවනා අරමුණක් තෝරා ගෙන වැඩීමට සැලකිලිමත් විය යුතුය.

රාග චරිතයා ලස්සන දේට ඇලූම් කරන බැවින් එවැන්නෙකුට සුදුසු වන්නේ අවලස්සන, පිළිකුල් සහගත අරමුණු ය. රාග චරිතයාට අරමුණු කර ගැනීමට වඩාත් ම යෝග්‍ය වන්නේ දස අසුභ හා කායගතාසතිය යි. මේවායින් පිළිකුල් සහගත බව අරමුණු වන නිසා එය රාග චරිතයාගේ රාගය දුරු වීම පිණිස හේතු වේ. රාග චරිතයාට භාවනාව සඳහා වඩාත් සුදුසු ඉරියව්ව වන්නේ සිටීම හෝ සක්මන් කිරීමයි.

දෝස චරිතයා අමිහිරි අරමුණු සම`ග ගැටෙන බැවින් එවැන්නෙකුට භාවනාව සඳහා යෝග්‍ය වන්නේ ප්‍රිය අරමුණක් ය, ප්‍රසන්න පරිසරයක් ය. දෝස චරිතයාට භාවනා අරමුණු වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන අප්පමඤ්ඤා හතරත්, නීල, පීත, ලෝහිත, ඕදාත යන වර්ණ කසිණ හතරත් සුදුසු ය. එවැනි ප්‍රිය අරමුණු දෝස චරිතයා තුළ ඇති ද්වේෂය දුරු කිරීමට ඉවහල් වේ. ඔහුට සුදුසු ඉරියව්ව සයනය යි.

මෝහ චරිතයාගේ සතර ඉරියව්ව ම අවුල් සහගත වන නිසා, කිසිවකින් ආවරණය නොවූ, විවෘත එළිමහන් ස්ථානයක් භාවනාව සඳහා යෝග්‍ය ය. සක්මන් කිරීම ඔහුට සුදුසු ඉරියව්ව යි. ස්වභාවයෙන් ම පමා බවින් සහ ප්‍රකෘතියෙන් යුක්ත නොවන බැවින් මෝහ චරිතයාට ආනාපානා සතිය යෝග්‍ය වේ.
ඇතැම් කරුණුවලින් සද්ධා චරිතයා රාග චරිතයාට සමාන බව ඉහත විස්තරයෙන් පැහැදිලි කෙරිණි.

බුද්ධානුස්සතිය ආදී කොට ඇති අනුස්සති භාවනා සද්ධා චරිතයාට වඩාත් සුදුසු ය. බුද්ධි චරිතයාට සෙනසුන් ආදියෙහි නුසුදුසු කිසිවක් නැත. මරණානුස්සතිය, උපසමානුස්සතිය, ආහාරයේහි පටික්කූල සංඥාව, චතුර්ධාතු ව්‍යවස්ථානය ආදී ගැඹුරු කමටහන් බුදුරජාණන් වහන්සේ බුද්ධි චරිතයාට නිර්දේශ කළ සේක. විතර්ක චරිතයා ඇතැම් කරුණුවලින් මෝහ චරිතයාට සමාන ය. වනයෙන් මුවා වූ ගුහා ආදී ආවෘත ස්ථාන විතර්ක චරිතයාට කමටහන් වැඩීමට යෝග්‍ය ස්ථාන වෙයි. ඔහුට ද ආනාපානාසතිය විශේෂයෙන් සුදුසු ය. ඉහත සඳහන් කළ පරිදි විතර්ක චරිතයාට ඇති අභාවිත සිත භාවිත සිතක් බවට පත් කර ගැනීමට ඔහුට ආනාපානාසතිය ඉවහල් වේ.

මින් පෙනී යන්නේ භාවනා වැඩීම සඳහා අරමුණු තෝරා ගැනීමේ දී භාවනානුයෝගියා විසින් තම චරිතයට ගැළපෙන ආකාරයේ අරමුණු තෝරා ගත යුතු බවය. ඒ සඳහා ඒ ඒ චරිතවලට සුදුසු නුසුදුසු කමටහන් පිළිබඳ ධර්මයෙහි කෙරෙන විස්තර පිළිබඳ අවබෝධය වැදගත් වේ. තම චරිතයට අදාළ වන පරිදි අරමුණු තෝරා ගැනීම භාවනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම පිණිස හේතු වේ. සිත සමාධි ගත කරගනිමින් දෘෂ්ඨිගත වීමෙන් තොරව ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීමට එය මාර්ගය වෙයි.

තරිඳු ධනංජය වීරසිංහ
කථීකාචාර්ය
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Share this: