චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විදේශ ගත වේ

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විදේශ ගත වේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හදිසියේම විදේශ ගත වී තිබේ.

ඇය ඉකුත් සිකුරාදා දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්වූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඊයේ (14) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ දි රැස්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම එහි මූලික අරමුණවූ බව සඳහන්ය.

ඊට පෙර එනම් සිකුරාදා දිනයේ ඒ පිළිබඳ පැවති සාකච්ඡාවන්හිදී පත්වන නිලධාරී මණ්ඩලය පිළිබඳ කෙරුණු සංවාදයේදී හිටපු ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් යෝජනා පිළිබඳ ඇය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අතර යම් නොමනාපයක් හටගත් බව ඇතැම් සති අන්ත පුවත්පත් විසින් වාර්තා කර තිබිණි.

ඒ අනුව ඇය හදිසියේ විදේශගත වූයේ මෙම නොමනාපය හේතුවෙන්දැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර කතාබහකර තිබේ.

ශ්‍රීලනිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන තනතුරක් තමන්ට අනවශ්‍ය බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් කල්තියා අනතුරු ඇඟවීම් කර තිබුණු බවත්,එසේ වුවද අවසානයේ ඇයට හිමිවූයේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සමාන තනතුරක් බවද කියැවෙයි.
ඊයේ පැවති විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිවරුන් මෙන්ම අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද,කථානායක චමල් රාජපක්ෂ මහතාද මහාචාර්ය විශ්වා වර්ණපාල ද පත් විය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් තමාට කිසිදු වරප්‍රසාදයක් අනවශ්‍ය බවත්,තම පියා විසින් ආරම්භ කරන ලද ශ්‍රීලනිපය යළි ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයට ගෙන මෙහෙයවීමට පක්ෂයේ නායකත්වය ලබාදීම පමණක් ප්‍රමාණවත් බවත් කියා සිටිය බවත්, එසේ වුවද ඇය බලාපොරොත්තුවූ නායකත්වය ඇයට නොලැබීමෙන් ඇය යම් හිත් අමනාපයෙන් පසුවන බවත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

Share this: