ගෝඨාභය සිරගත කර හෝ ජනපතිවරණයෙන් ඉවත් කරන්න හදනවා

ගෝඨාභය සිරගත කර හෝ ජනපතිවරණයෙන් ඉවත් කරන්න හදනවා

ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට මුහුණ දෙන බව දන්නා එක්සත් ජාතික පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කර හෝ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළ ද ඔහුගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වැළැක්වීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවද පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.

අපි අපේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කළේ ආවට ගියාට නොවෙයි. සුදුසුකම් තිබේද යන්න හොඳට සොයා බැලීමෙන් පසුවයි. අපි දන්නවා මේවා. එජාපය ගෝඨාභය හිර කරන්න සූදානම් වෙලා.

පරාජය වන බයට හිර කරලා කොහොම හරි ඉවත් කරන්න සූදානම් වෙනවා. මේ තරම් බය ඇයි? ජනතාවත් එක්ක ඉන්නවා නම් තරග කරලා ජනතා මතයට ගරු කිරීමට පුරුදු විය යුතුයි.

නමුත් අපි දන්නවා ඒ අයට එහෙම කරන්න බැරි බව. එජාපය මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට මුහුණ දෙනවා. එය කිසිසේත් වැළැක්විය නොහැකියි.

කොළඹ, නව නගර ශාලාවේදී පැවැති දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ සමුළුව අමතමින් විපක්‍ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

Share this: