ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් , රජයේ නීතීඥ සුරේන් ඥානරාජ් පෙනී සිටියේය.