ගෝඨාභයගේ පෙත්සමක් අභියාචනාධිකරණය පිළිගනියි

ගෝඨාභයගේ පෙත්සමක් අභියාචනාධිකරණය පිළිගනියි

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් පිළිගෙන තිබේ.

මෙම පෙත්සමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව නඩු පවරා ඇති බවයි.

එහෙත් මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවට තමන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ බව ද එය ප‍්‍රතික්ෂේප වූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ ගොනුකර තිබූ පෙත්සම මුල් අවස්ථාවේදීම සලකා බැලූ අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණ.

Share this: