“ගෝඨාභයගේ ජයග‍්‍රහණය ස්ථිරයි” නාමල් රාජපක්‍ෂ කියයි.

“ගෝඨාභයගේ ජයග‍්‍රහණය ස්ථිරයි” නාමල් රාජපක්‍ෂ කියයි.

* අපේ ආණ්ඩුවකින් දේශපාලන පළිගැනීම් නැහැ

* නමුත් වැරදිකරුවන්ට නීතියට අනුව ක‍්‍රියාත්මක වෙනවා

ජනාධිපතිවරණය ළංවෙත්ම මේ වන විට රටේ දේශපාලනය ද උණුසුම් වී තිබේ. වත්මන් දේශපාලනය ගැන කතාබහ කරන්නට මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා අපි සම්බන්ධ කර ගත්තෙමු. ඔහුගේ විවාහ මංගල්‍යයෙන් පසු පුවත්පත් සාකච්ඡාවකට එක් වූ පළමු අවස්ථාව මෙය වේ.

⋆ ප‍්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ලබාගන්න පුළුවන් වෙයිද?

⋆ පිළිතුර – මං හිතන්නේ මේ වෙලාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැහැදිලි තීන්දුවක් ගන්න ඕනෑ රට ගැන හිතලා. ඒ පක්‍ෂය ගැන හිතලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා වැටීමට හේතුව වූයේ එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක මුක්කු ගැසීමයි. එක්සත් ජාතික පක්‍ෂයත් සමග සන්ධානගත වීමයි. නැවත වතාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂය කඩාගෙන යන පිරිසක් සමග සන්ධානගත වෙන්න උත්සාහ ගන්නවා නම් ඒකේ අවසාන ප‍්‍රතිඵලය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් අභාවයට යෑම. එය වළක්වා ගන්න ඕන නම් හොඳම දේ තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සහයෝගය දෙන එක.

⋆ ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට නොලැබුණොත් මොකද කරන්නේ?

⋆ පිළිතුර – ගෝඨාභය මහත්මයාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය නොලැබුණොත් කියන කාරණය නෙමෙයි ප‍්‍රශ්නය. ආණ්ඩු විරෝධී සියලූම බලවේග මේ වෙනකොට ගෝඨාභය මහත්තයා වටා එකතුවෙලා තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ගෝඨාභය මහත්තයාට නොලැබුණොතින් ඒකෙන් තවදුරටත් පැහැදිලි කරනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සන්ධානගත වෙලා ඉන්නවා කියලා. මතක තියා ගත යුතු දෙයක් තමයි, මේ රටේ ජනතාව ආණ්ඩුව වෙනස් කරන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා කියන කාරණය. මොකද ආණ්ඩු විරෝධී කියන කාරණාව මේ වෙලාවේ සියල්ලටම වඩා ඉස්මතු වෙලා තියෙනවා. යම්කිසි හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ එජාප ආණ්ඩුවත් එක්ක ගමන් කරන්න තීන්දු කෙරුවොත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා ආණ්ඩු විරෝධී පාක්‍ෂිකයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහරින තැනට තමයි තල්ලූ වෙන්නේ.

⋆ ප‍්‍රශ්නය- ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය නැතුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට ජනාධිපතිවරණයේදී මේ ගමන තනිවම ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙයිද?

⋆ පිළිතුර – දැන් අපි ප‍්‍රායෝගිකව බලමු. 2015 දී එක් කණ්ඩායමක් හංසයාට ඡන්දය දුන්නා. අනිත් කණ්ඩායම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. දැන් ප‍්‍රායෝගිකව 10 දෙනෙකුට කතා කළොත් හංසයාට ඡන්දය දුන්නු කීදෙනෙක් කියනවාද නැවත වතාවක් එක්සත් ජාතික පක්‍ෂයට හෝ හංසයාට ඡන්දය දෙනවා කියලා. හංසයාට ඡන්දය දුන්නු අය කලකිරිලයි ඉන්නේ. ඒ ප‍්‍රායෝගිකව. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට හම්බ වෙච්ච ඡන්ද සියල්ලම ඒ විදියටම තිබෙනවා. එක ඡන්දයක් දෙකක් ඔය සජින් වාස් මහත්තයා වගේ පෞද්ගලික හේතූන් මත අයින් වෙලා ඇති. හැබැයි අති බහුතරයට එහා ගිය පිරිසක් ඡන්දය දෙන්නේ පොහොට්ටුවට. මොන අතින් බැලූවත් ජයග‍්‍රහණය කිරීම පිළිබඳ අපට ගැටලූවක් නැහැ.

⋆ ප‍්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සුළු ජාතික ඡන්ද ලබා ගැනීමට ඉඩ අවමයි නේද?

⋆ පිළිතුර – මෙහෙමයි, එතුමාට සැලකිය යුතු සුළු ජාතික ඡන්ද ප‍්‍රමාණයක් ලැබෙනවා. දැන් අපි පසුගිය ජනාධිපතිවරණය උතුරේ ඡන්ද ප‍්‍රතිශතය ගත්තොත් දකුණේ සමහර පළාත්වල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ලැබිච්ච ඡන්ද ප‍්‍රතිශතයට වඩා උතුරේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවෙලා තියෙනවා. මැද කොළඹ, උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ වැනි ආසනවලට වඩා උතුරේ ඡන්ද අරගෙන තිබෙනවා. සුළු ජාතික ඡන්ද කියන කාරණය සමහර දේශපාලනඥයන් තමන්ගේ වාසියට පාවිච්චි කරන දෙයක්. මුස්ලිම් කොංග‍්‍රසය රිෂාඞ් බදුර්දීන් මහත්මයා වගේ අය තමන්ගේ පැවැත්මටයි, සුළු ජාතික ඡන්ද පදනම පාවිච්චි කරන්නේ. මට හිතෙනවා, දෙමළ හා මුස්ලිම් ජනතාව මෙය තේරුම් අරගෙන තියෙනවා කියලා. දෙමළ දේශපාලනඥයාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා තමන්ම තමන්ගේ ජාතිය පාවිච්චි කරනවා නම් ඒක වැරදියි. ඉතිං ජවිපෙ ආණ්ඩුවට විරුද්ධව කිසිම තැනක ඡන්දය පාවිච්චි කළේ නැහැ. දින පනස් එකේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලයේත් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව ආරක්‍ෂා කරන්න තමයි ඔවුන් ඡන්දය පාවිච්චි කළේ. විශ්වාසභංග යෝජනාවලදිත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව ආරක්‍ෂා කරගන්න තමයි, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය පාවිච්චි කළේ. අපිට සැකයක් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ වුණත් අවසාන මොහොතේ ඒගොල්ලන්ගේ අපේක්‍ෂකයා ඉල්ලා අස්වෙන්න බැරි නැහැ. එක්සත් ජාතික පක්‍ෂයට උදව් කරන්න බැරි නැහැ. ඒ නිසා අද සුළු ජාතික ඡන්ද කියන එක සමහර දේශපාලනඥයෝ තමන්ගේ වාසියට පාවිච්චි කරනවා මිසක් ඒක ජාතික දේශපාලනයට බලපාන එකක් නොවෙයි. උගත්, බුද්ධිමත් බහුතරයක් සියලූම ජනතාව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාව ජයග‍්‍රහණය කරවන්න පෙළ ගැහිලා ඉන්නවා.

⋆ ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරනවා, ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා මිලිටරි පාලකයෙක් වෙයි කියලා. එහෙම කෙනෙකුට රට භාරදෙන එක සුදුසු නැහැ කියලා.

⋆ පිළිතුර – ඔය චෝදනාව නඟන එක්සත් ජාතික පක්‍ෂය තමයි, සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපති අපේක්‍ෂකයා විදියට පත් කළේ. ඔය කියන දෙමළ සන්ධානය උතුරේ ඡන්ද ටික සරත් ෆොන්සේකා මහත්මයාට ලබාදුන්නා. මේ දේශපාලනික වශයෙන් ගොඩනඟන කාරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එදා හිටපු ලේකම්වරයා. එතුමා රාජ්‍ය නිලධාරියෙක්. සරත් ෆොන්සේකා මහත්තයා හමුදාපතිවරයා ඒ කියන්නේ හමුදා නිලධාරියෙක්. දැන් හමුදා නිලධාරියා හොඳයි. රාජ්‍ය නිලධාරියා හොඳ නැහැ. පැහැදිලිවම මේක හුදෙක් දේශපාලනික කාරණයක් පමණයි.

⋆ ප‍්‍රශ්නය – ගෝඨාභය මහත්තයා ජයග‍්‍රහණය කළොත් මේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් තියෙනවද?

⋆ ප‍්‍රශ්නය – අනිවාර්යයෙන් ම මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවක් හැදෙන කොට ඒ ආණ්ඩුව තුළ රටේ අභිවෘද්ධිය සඳහා ජනතාවාදී ප‍්‍රතිපත්ති තමයි, අපි ක‍්‍රියාත්මක කරන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන කොට මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් මේ රටේ හැදෙනවා. මහින්ද මහත්තයාගේ ප‍්‍රතිපත්ති ජනතාවාදී ප‍්‍රතිපත්තියි. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ ප‍්‍රතිපත්ති ජනතාවාදී ප‍්‍රතිපත්තියි. සිරිසේන – වික‍්‍රමසිංහ සංයුතිය වගේ දෙපැත්තට ඇදගන්න සංයුතියක් නොවෙයි ඒක. එකම ප‍්‍රතිපත්ති මත යන ගමනක් අපිට කෙටි කාලීන, මධ්‍යම, දිගු කාලීන වැඩපිළිවෙළක් තියෙනවා. අනිවාර්යයෙන් ම මේ රටේ විරැුකියා ප‍්‍රශ්නයට විසඳුමක් දෙනවා. විරැුකියා ප‍්‍රතිශතය සියයට 5ට අඩුවෙන් තියාගන්න. ආර්ථික වර්ධන වේගය සියයට දහය ඉක්මවන්න. මේ රටේ බැංකු පොලී අනුපාත ප‍්‍රතිශතය සියයට දහයට අඩුවෙන් තියාගන්න. යටිතල අපනයන වැඩි කරන්න. නව කාර්මික ජනපද නිර්මාණය කරන්න. වරායවල් ටික පුළුල් කරන්න සහ නව ආයෝජන ගේන්න. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපි ඒ වැඩපිළිවෙළත් එක්ක තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

⋆ ප‍්‍රශ්නය – ඔබතුමා හිතන විදියට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයේදී කොපමණ ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගනියිද?

⋆ පිළිතුර – මැතිවරණයට කලින් මාස එකහමාරක් දෙකක් තියෙනවා. අපේ ඉලක්කයන් හා අපි ගන්න ඡන්ද ප‍්‍රමාණය ගැන මේ වෙලාවේ කතා කිරීම සුදුසු නැහැ. මොකද ඒක අපේ මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් වෙන්න පුළුවන්. හැබැයි වගකීමකින් කියනවා සියයට පනස් එක කියන කඩඉම ඉක්මවනවා සහ බහුතරයක් වාර්තාගත ජයග‍්‍රහණයක් ගෝඨාභය මහත්තයා හිමිකර ගන්නවා.

⋆ ප‍්‍රශ්නය – බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් ලැබිලා නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ පාලන සමයේදීවත් මේ හොරුන්ට දඬුවමක් ලැබෙයිද?

⋆ පිළිතුර – බැඳුම්කර හොරු වෙන්න පුළුවන්. නැත්නම් ගොඩනැඟිලි කුලියට ගත්ත අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහවැලිය හොරකම් කරපු අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කරපු අය වෙන්න පුළුවන්. හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණලා මුදල් හොයපු අය වෙන්න පුළුවන්. හම්බන්තොට, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවල ඉඩම් අක්කරය රුපියල් 100 ට බදු දීලා තියෙන අය වෙන්න පුළුවන්. ඒ ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරන්න ඕනේ. හැබැයි වගකීමකින් කියනවා අපි දේශපාලන පලිගැනීම්වලට සූදානම් නැහැ. කටකතාවලට මිනිස්සුන්ගේ ආර්ථිකය, ව්‍යාපාර වට්ටන්න අපි සූදානම් නැහැ. කටකතාවලට දේශපාලනඥයන්ගේ චරිත ඝාතනය කරන්න අපි සූදානම් නැහැ. හැබැයි සර්ව සාධාරණව දැනට පවතින නීතිය යටතේ දැනට තියෙන පොලිසිය යටතේ, දැනට තියෙන අධිකරණය යටතේ නීතිය ක‍්‍රියාත්මක කරනවා.

⋆ ප‍්‍රශ්නය – රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරලා තියෙන්නේ කියලා ආණ්ඩුව කියනවා. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

⋆ පිළිතුර – ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය විශාල වෙහෙසක් ගන්නවා. බුද්ධි අංශ විශාල වෙහෙසක් දරනවා. හැබැයි ඉතිං අදටත් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නා දෙපැත්තේ ඉඳන් බැණ ගන්නවා. මේ නායකයෝ දෙන්නා මරාගන්නකොට කොහේද ජාතික ආරක්‍ෂාවක් දෙන්නේ.

(ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සමග කල සාකච්ඡාවකි)

Share this: