ගෝඨාගේ ගමන නවත්වන්න එජාපය ගන්න උත්සාහය ගැන සජිත්ගේ මතය රටට හෙළි කළ යුතුයි

ගෝඨාගේ ගමන නවත්වන්න එජාපය ගන්න උත්සාහය ගැන සජිත්ගේ මතය රටට හෙළි කළ යුතුයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ පොර පිටියට පැමිණීම වැළැක්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය දරන උත්සාහය ගැන සජිත් පේ‍්‍රමදාස මහතාගේ මතය වහාම රටට පැවසිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ (30) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මේ නඩුව පිළිබඳ එජාපය අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් රටට ලබාදුන් නිසා මේක පදනම් විරහිත නඩුවක් බව පෙන්වා දීම අපේ යුතුකමක්.

2003 වසරේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ සමගම ලංකාවේ නීතියට අනුව ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. ඒ අනුව 2005 නොවැම්බර් 21 දින නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ පුරවැසිකම ලබාගත් සහතිකය තමා මේ තිබෙන්නේ. පෙත්සම්කරුවන් කියන්නේ 2005 වසරේදී නව ඇමැති මණ්ඩලය පත් කළේ නොවැම්බර් 22 දා. ඇමැතිවරු පත් කරන්න කලින් ලේකම්වරුන් පත්කරන්න කලින් ඇමැතිගේ නිර්දේශය අරන් ලේකම් අත්සන් කරලා ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළේ කොහොමද කියන එක තමයි මේ නඩුවේ පදනම. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලංකාවේ පුරවැසියකු නොවන බවට ප‍්‍රකාශ කරන මෙන් අධිකරණයෙන් ඉල්ලමින් මේ නඩුව ගොනු කර තිබෙන්නේ.

ජනාධිපති විසින් වෙනත් ඇමැතිවරයකුට පැවරුවේ නැති සෑම විෂයක්ම ජනාධිපති යටතේ තිබෙන බව 19 වන සංශෝධනයට කලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. ඒ නිසා 2005 නොවැම්බර් 21 දින වන විට සෑම අමාත්‍යාංශයකම ඇමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. ඒ වගේම සෑම අමාත්‍යාංශයකම ලේකම් ජනාධිපති ලේකම්. ඒ නිසා ලේකම් වෙනුවෙන් කියා අතිරේක ලේකම් අත්සන් කරන විට ඔහු අත්සන් කළේ ජනාධිපති ලේකම් වෙනුවෙන්.

එහෙම නම් 2005 නොවැම්බර් 21 දින සිට ගෝඨාභය මහතා ලංකාවේ පුරවැසියෙක්. 2019 මැයි 3 දා මෙන්න මේ ඇමරිකානු පුරවැසිකම අහිමි වීමේ සහතිකය ඇමරිකානු ආණ්ඩුව නිකුත් කරනවා. මේ සහතික දෙක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත අද අපි මාධ්‍යවලට නිකුත් කරනවා. එහෙම නම් 2019 මැයි 3 දින සිට එතුමා තවදුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවේ. ඇමරිකානු පුරවැසියෙකු නොවේ. පුරවැසිකම තිබෙන්නේ ලංකාවේ පමණයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා-

අපි කැමැත්තෙන් සිටියේ සජිත්ව ජනතාව නමැති සටන් බිමේදී හමුවීමට. නමුත් දැන් උසාවි ගානේ රස්තියාදු වීමට සිද්ධ වී තිබෙනවා. ඊට පෙර ගෝඨාභය මහතාට එරෙහිව දාපු නඩු විසිවෙලා තිබෙනවා. නමුත් දැන් යළිත් ව්‍යාජ කරුණු වගයක් සොයා ගෙන බලවත් ප‍්‍රතිවාදියා වැළැක්වීම සඳහා තුට්ටු දෙකේ උත්සාහයක් දරනවා.

රාජිත පැවත්වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා ගෝඨාභය මහතාට හැඳුනුම්පත් දෙකක් තිබෙන බව. ඒ නිසා එම හැඳුනුම්පත් යොදා ගෙන ගත් පාස්පෝට් එක නීති විරෝධි යයි කියා. ඒක තමයි මේ අයගේ අලූත්ම ලොජික් එක. මේ කරන වැඩවලින් පැහැදිලි වනවා මේ අය පිළිඅරගෙන ඉවරයි නියත වශයෙන්ම පරාජය වන බව.

2010 දී අපට හිතවත් අය කිව්වා සරත් ෆොන්සේකාට විරුද්ධව නඩු දාන්න කියලා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා කිව්වා එහෙම කළොත් එය වෙන විධියකට අර්ථ කථනය කරයි. එම නිසා අපි ඡුන්දයෙන්ම පරාජය කරමු කියලා.

එම නිසා ඔය අවලාද පිළිගන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා දුන් ලිපි ලේඛන මැතිවරණ කොමිසම පරීක්‍ෂා කරලා බලලා සෑහීමකට පත්වී සිටිනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා-

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අභියාචනා අධිකරණය හමුවේ නඩු දාලා තිබෙනවා. මේ නඩුවේ තීන්දුවෙන් පස්සේ යළිත් නඩු දානවා. මේ කිසි නඩුවකින් ගෝඨාභය මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නුසුදුස්සෙකු බව ඔප්පු වන්නේ නැහැ. මේ හදන්නේ ගෝඨාභයට ඡුන්දය දීලා වැඩක් නෑ කියලා මතයක් හදන්න.

ගෝඨාභය මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා හමුවූවා. ඒ අය ගෝඨාභය මහතා ඉදිරිපත් කළ ලිපි ලේඛන පිළිබඳව සෑහීමකට පත් වෙනවා. එම නිසා දැන් දන්නවා නාමයෝජනාවලට අභියෝග කළ නොහැකි බව. එම නිසා දැන් නඩු දානවා. නමුත් වැඩක් නෑ.

Share this: