දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (5 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 තරගය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි. තරගය අතහැර දැමීමට ප්‍රධානතම හේතුව වූයේ තණතීරු ආවරණවල වලට යටින් තණතීරුවට වැසිදිය කාන්දු වී තිබීමයි.
තරගය අතහැර දමන බවට නිල වශයෙන් නිවේදනය කරන විට රාත්‍රී 9.55 පමණ වී තිබිණ. ඒ වන විට අවම වශයෙන් ඕවර 5 ක තරගයක් වත් පැවැත්වීමට තරම් කාලය ඉතිරි වී නොතිබිණ.
තරගයේ රූපවාහිනී විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කළ ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ආකාශ් චොප්රා මහතාගේ අදහස වූයේ එය පාසල් දරුවකුගේ මට්ටමේ අතපසු වීමක් බවයි. මෙවැනි වෘත්තීය මට්ටමේ තත්ත්වයකදී තණතීරු ආවරණ වලට යටින් වැසිදිය කාන්දුවක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බවත් චොප්රා මහතා පැවසීය.
ක්‍රීඩා පිටියේ හතරේ සීමාව අවට සහ ඒ ඇතුළත කිසියම් තෙත බරිත බවක් තිබුණද තරගයක් පවත්වාගෙන යා හැකි නමුත් තණතීරුවට වැසිදිය කාන්දු වී තිබේ නම් තරගයක් ආරම්භ කිරීමට පෙර විනිසුරුවරු මහත්සේ විමසිලිමත් වෙති. තණතීරුව සූදානම් කරගැනීම සඳහා ක්‍රීඩාංගණ සේවකයෝ බලවත් උත්සාහයක නිරත වූහ. විදුලි ඉස්තිරික්කයක්, හිසකේ වියළන යන්ත්‍රයක් සහ වැකුම් යන්ත්‍රයක් ද යොදාගනිමින් තණතීරුවේ තිබූ තෙත සහිත බව වියළා ගැනීමට ඔවුන් උත්සුක වුවද එය කළ නොහැකි විය.
පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් දෙපිලටම සූදානම් විය හැකිවූයේ විනාඩි 15 ක් පමණි. පස්වරු 6.45 ට පමණ වර්ෂාව ආරම්භ වූ අතර එය රාත්‍රී 9.00 වන තුරුත් වරින් වර පැවැතිණ.
එතැන් සිට තිබුණේ තරගය ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් අනාවැකි කීමේ තරගයකි. එහෙත් විටින් විට ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවරුන්ගෙන් ලැබුණේම බලාපොරොත්තු සිඳ ගැනීමේ ප්රතිචාරයකි.
වර්ෂාව නවතින වාරයක් වාරයක් පාසා පිටිය පරීක්ෂා කිරීමට පැමිණි විනිසුරුවරු රාත්‍රී 9.00 ට අවසන් නිගමනය ගැනීමට තීරණය කළහ. රාත්‍රී 9.30 ට ක්‍රීඩාංගණය පරීක්ෂා කළ අනිල් චෞද්රි සහ නිතින් මෙනන් විනිසරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, ළහිරු කුමාර සහ ලසිත් මාලිංග
ඉන්දීය කණ්ඩායම
ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, ශ්‍රියාස් අයියර්, රිෂාබ් පන්ට්, ශිවම් ඩුබේ, වොෂිංන්ටන් සුන්දර්, ශර්දුල් ඨාකූර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ නව්දීප් සයිනි