ගමේ ගිය අයට කොළඹ එන්න‍ බස් සදහා දුම්රිය

ගමේ ගිය අයට කොළඹ එන්න‍ බස් සදහා දුම්රිය

සිංහල දෙමල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් හෙට දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.විපුලසේන මහතා සඳහන් කළේ, ලබන 20 වන දින දක්වා අතිරේක බස් රථ යොදවා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

අදාළ වැඩපිළිවෙළ සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල ද සහය ලබාගෙන තිබෙන බව සදහන්ය.

තවද, හෙට දිනයේ සිට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසන අතර, මගී ජනතාවගේ අවශ්‍යතා අනුව අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත.

මේ අතර මෙයට සමගාමිව හෙට දිනයේ සිට විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share this: