ගංජා  සමග ලාංකිකයින් තිදෙනෙක් තමිල්නාඩුවේදී පොලිස් බාරයට

ගංජා සමග ලාංකිකයින් තිදෙනෙක් තමිල්නාඩුවේදී පොලිස් බාරයට

කිලෝ ග්‍රෑම් 11 න් යුතු ගංජා තොගයක් සමග සරණාගතයින් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු, ඉන්දීය කිව් බ්‍රාන්ච් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩුවට යාබද තෝනිකරායි වෙරළ තීරයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් සේවා අනාවරණය කරයි.

මෙම ප්‍රදේශයේ ධීවරයෙකු විසින් ලබාදුන් ඔත්තුවකට අනුව කිව් බ්‍රාන්ච් පොලීසියේ පොලිස් පරීක්ෂක ආර්.කෙන්නෙඩිගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මුහුදු තීරය හා තලෙයිමන්නාරම යා කෙරෙන මුහුදු මාර්ගයක් ඔස්සේ සිදුකෙරෙන මෙම ජාවාරම අනාවරණය කරගෙන තිබේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ. චන්ද්‍රන්(48) සහ 1997 සිට තමිල්නාඩුවේ මණ්ඩපාම් සරණාගත කඳවුරේ දිවිගෙවන පී.අ‍ශොක්(30) මෙන්ම ගුදියාතම් සරණාගත කඳවුරේ වෙසෙන රොගානස් හෙවත් අනිල්(38) යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තවද පරීක්ෂණ වලින් තහහුරු වෙන්නේ, යාපනයේ පදිංචි චන්ද්‍රන් නමැති සැකකරු අප්‍රේල් 20 දින කොළඹින් නීත්‍යනුකූල ගමන්බලපත්‍රයකින් හා මාස තුනක සංචාරක වීසාවකින් ඉන්දියාවට පැමිණ මෙම ජාවාරමේ නිරතව ඇති බවයි.

චන්ද්‍රන් නමැති සැකකරු මීට පෙරාතුව 2013 වසරේදී ජූනි මාසයේදීද සංචාරක වීසා මගින් තමිල්නාඩුවට පැමිණ ඇති මුත් මෙම ජාවාරමට සම්බන්ධවී ඇත්තේ පළමු වරට බැව් පොලිස් පරීක්ෂක ආර්.කෙන්නෙඩි ප්‍රකාශ කර ඇත.

Share this: