කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කරයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කරයි

 

දැනට ඉදිවෙමින් පවතින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි.

අදාළ ව්‍යාපෘතියේ පරිසර වාර්තා සහ ගිවිසුම්වල ඇති දුර්වලතා පිළිබඳව සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත අග්‍රාමාත්‍යවරයා විසින් මෙම යෝජනාව සිදුකර ඇත.

තවද මේම ඉදීකිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කිරීමට නියමිත වන අතර, අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්ය.

එමෙන්ම පරිසර සංවිධාන චෝදනා කරනු ලබන්නේ, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කළ අතර ‍එම ව්‍යාපෘතිය ආරම්භ කළේ පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට නොගෙන බවය.

මෙම ව්‍යාපෘතිය නතර කරන බවට ඉකුත් මැතිවරණ වේදිකාවේදී වත්මන් රජයේ නායකයින් පොරොන්දු දුන් බවට ද පරිසර සංවිධාන පසුගිය දිනවල මාධ්‍ය හමු පවත්වමින් විරෝධතා පවත්වමින් අවධාරණය කළේය.

මෙම වාතාවරණය යටතේ අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද පසුගිය දා අදහස් පළ වූ අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ඉදිරියට සිදුකරගෙන යනවාද නැද්ද යන්න සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර එහි අවසන් වාර්තාව අනූව තීරණයක් ගන්නා බවයි.

Share this: