කොළඹ වරායට පැමිණි සබ්මැරීනයක්

කොළඹ වරායට පැමිණි සබ්මැරීනයක්

පසුගිය ඔක්තෝබර් 31වෙනි දින කොළඹ වරායට පැමිණී චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් සම්බන්ධයෙන් චීන රජය යළිත් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුමැතිය ඇතිව අදාළ කටයුත්ත සිදු වූ බව, චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක හුවා චුයෙං මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මින් ඉදිරියට අවසරයකින් තොරව වෙනත් රටවල සබ්මැරීන් යාත්‍රා ශ්‍රී ලංකාවේ වරායන්හි නැංඟූරම් දැමීමට අවස්ථාවක් ලබා නොදෙන බව, පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුනි.

කොළඹ වරායට පැමිණ තිබුණේ චීනයට අයත් න්‍යෂ්ඨික බලශක්ති සබ්මැරීනයක් සහ සාමාන්‍ය සබ්මැරීන් යාත්‍රාවකි.

චීනය විසින් මුහුදු මංකොල්ලකරුවන්ට හා ත්‍රස්වාදීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් සඳහා ගල්ෆ් මුහුදු සීමාවට යමින් සිටින අතර තුරු මෙම සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

තවද හුවා චුයෙං මහත්මිය, අවධාරණය කර ඇත්තේ එම යාත්‍රාවන් කොළඹ වරායේ නැංගූරම් ලා තිබුනේ ඉන්ධන සහ ජලය ලබා ගැනීමට මෙන්ම කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනීමට සඳහා පමණක් බවටය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ එම යාත්‍රා නැංගූරම් දමා තිබීම ඉතා විනිවිදභාවයකින් යුතුව සිදු කළ කටයුත්තක් වන බවත් අන්තර්ජාතික මුහුදු ප්‍රඥප්තීන්ට සහ නීති රීතිවලට අනුව එය සිදුවූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරිය පවසා ඇත.

ගෝලීය වශයෙන් මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහාය දෙන රටකි. එම පඳකම මත සිට මිත්‍රරටක් ලෙස චීන සබ්මැරීන යාත්‍රා දෙක සඳහා ශ්‍රී ලංකාව මෙලෙස සහාය දුන් බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද හුවා චුයෙං මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

Share this: