2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික සමාජයේ, යුක්තිය, නිදහස, සහ සමානාත්මතාව හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක ආරම්භය සනිටුහන් වූවා.

2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික සමාජයේ, යුක්තිය, නිදහස, සහ සමානාත්මතාව හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක ආරම්භය සනිටුහන් වූවා.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කල සම්පූර්ණ කතාව.

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයකු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුව මෙලෙස අමතන්නේ ඉමහත් වූ සතුටකිනි.
මොගන්ස් ලිකෙටොෆ් මැතිතුමනි, 70 වැනි මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම් පිරිනමමි. එමෙන් ම, 69 වැනි සැසිවාරයේ සභාපතිවරයා වශයෙන්, සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ, සෑම් කුටේසා මැතිතුමන්ට ද මාගේ ස්තුතිය පිරිනමමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70 වැනි වසරට පා තබා තිබේ. එම ගෙවුණු වසර 70 ක කාලය තුළ, ලෝක ජනතාවගේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුළු අතිශය භාරධූර හා අභියෝගාත්මක ක්‍රියාවලියක එක්සත් ජාතීන් අඛණ්ඩව නිරත වූ බව අවිවාදිත ය. එම අභියෝග අදටත් අප හමුවේ පවතින බව මම සිහිපත් කරමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක මහලේකම්වරයා වූ ට්‍රිග්වි ලී මහතා, කොරියානු යුද්ධය උත්සන්නව පැවති 1953 දී සිය ධුරයෙන් සමු ගන්නා මොහොතේ දී මහ ලේකම් ධුරයේ ස්වභාවය හැඳින්වූයේ “The most impossible job in the world” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ත මනුෂ්‍ය සංහතියෙහි ම අනාගතය සිය කර මත දරා සිටිය හැකි විශ්වීය සංවිධානයක් බවට පත් කිරීමට සියලු මහ ලේකම්වරුවන්ගේ පූර්ණ දායකත්වය ලැබුණු බව නොරහසකි. වර්තමාන මහ ලේකම් ධු‍රය ‍හොබවන බැන් කී මූන් මහතා ද එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන බව මාගේ විශ්වාසයයි. බැන් කී මූන් මැතිතුමනි, ඒ වෙනුවෙන්, මාගේ සහ මාගේ ජනතාවගේ උපහාරය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා මේ වන විට වසර හැටකි. මගේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයකි.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම්වලට ගරු කරන රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මූලික පරමාර්ථයක් වන්නේ මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. ශ්‍රී ලංකා ජනරජය‍ එම වගකීම් නොපිරිහෙලා ඉටු කරනු ඇති බව මෙහිලා ප්‍රකාශ කරමි. ඒ සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සහ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිලා සඳහන් කරන්නෙමු‍.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ, ශ්‍රී ලංකාව ඉටු කරන කාර්යභාරය බහුවිධ වේ. ඒ අතර, 1960 දශකයේදී ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සාම සාධන ක්‍රියාවලීන් සඳහා අප රටෙහි දායකත්වය අඛණ්ඩව පවතින බව කිව යුතුය. සාම සාධන ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලාංකාවේ දායකත්වය තව දුරටත් නැංවීමට අප ඉදිරියේදී ද කටයුතු කරන බව සඳහන් කිරීම‍ට ද කැමැත්තෙමු.
සභාපතිතුමනි, 2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික සමාජයේ, යුක්තිය, නිදහස, සහ සමානාත්මතාව හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක ආරම්භය සනිටුහන් වූ බව ඔබ දන්නා කරුණකි. අපගේ සමාජ සහ මානව සංවර්ධන ප්‍රවේශයෙහි පදනම වන්නේ බහුවිධත්වය, සංහිඳියාව, සහ තිරසර සංවර්ධනයයි. ඉදිරි වසර පහ සඳහා වන මගේ රජයේ සංවර්ධන දැක්ම වන්නේ ද එයයි.
මෙවර සැසිවාරයේ “හැත්තෑ වැනි වසර සපුරන එක්සත් ජාතීන්: සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මග” යන තේමා පාඨය, මාගේ රජය විසින් ඉදිරිපත් කර ඇති දැක්ම සමග සමපාත වන්නේය. එමෙන් ම, සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වන ක්‍රියාකාරී සහ ප්‍රා‍යෝගික වැඩපිළිවෙළක් ගොඩ නැගීමට මගේ රජය කැප වී සිටියි‍.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ ජනතාව, පසුගිය මාස අටක කාලය තුළ, ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණයකට මුහුණ දී, එමගින් නව ජනාධිපතිවරයකු සහ නව ආණ්ඩුවක් තෝරා පත් ‍කරගෙන තිබේ. ශ්‍රී ලංකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර දීමේ අරමුණින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට මාගේ පාලනයේ පළමු මාස හය තුළ දී ම කටයුතු කර ඇත. එහිදී, බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වන ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කොට යහපාලනය තහවුරු කොට තිබේ‍. විශේෂයෙන් ම, මෙතෙක් ජනාධිපතිවරයා සතු වූ විධායක බලතල බොහොමයක් මාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවට සහ වෙනත් ස්වාධීන ආයතන වෙත පැවරීමට කටයුතු කළෙමි.
පසුගිය අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසුව, දශක හයක් පුරා පැවති විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට, සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය මත පිහිටා, රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ගොඩ නැගූ සම්මුතික රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට මම ක්‍රියා කළෙමි. ඒ අනුව, මෙතැන් සිට, රටක් ලෙස, අපගේ නව ප්‍රවේශය වන්නේ, සංහිඳියාව සහ සංවර්ධනය එක්වර සාක්ෂාත් කර ගැනීමයි. එම ප්‍රවේශය අනුව කටයුතු කිරීමේදී, අතීතය සමග අවංකව ගනුදෙනු කිරීම සහ නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම අප හමුවේ ඇති මූලික අවශ්‍යතාවකි.
අතීතය සමග ගනුදෙනු කිරීමේදී අප, සත්‍යය ගවේෂණය, යුක්තිය ඉෂ්ට කිරීම, හානිපූරණය සහ එම අතීතය වෙත නැවත ගමන් කිරීම වළක්වාලන ක්‍රියාවලියක් මත පිහිටා කටයුතු කරන්නෙමු. 21 වැනි සියවසේ අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකාව නව සමාජ, ආර්ථික සහ දේශපාලන මාවතකට අවතීර්ණ විය යුතු වේ. එහිදී, සංහිඳියාව ප්‍රමුඛ සාධකයකි. මෙම නව බලාපොරොත්තුව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආයතනික ප්‍රතිසංස්කරණ තව දුරටත් වේගවත්ව කිරීමට මා නායකත්වය දෙන සම්මුතික රජය මේ වන විටත් ඉදිරි පියවර ගණනාවක් ම ගෙන තිබේ.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව ගැටුමකට මුහුණ දුන් රටකි. යුද්ධය සමාජයකට විනාශය ළඟා කර දෙන්නේ වුව ද, ගැටුම ම ධ්‍යයේ මෙන් ම ඉන් අනතුරුව ද ඒ පිළබඳව උගත හැකි පාඩම් බොහෝ ය. සියලු ආකාරයේ යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාකාරකම් ය යන්න අවිවාදිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ පූර්විකාවෙහි එවැනි වූ මනුෂ්‍යත්වයට එරෙහිව කැරලි හට ගන්නා ආකාරය කෙබඳු දැයි සඳහන් කර තිබේ. එහි මූල බීජය කුමක් වුව ද, මනුෂ්‍යත්වයට එරෙහි මෙවන් ක්‍රෑර ක්‍රියාවන් පරාජය කිරීම අද යුගයේ අභියෝගයකි.
දුක්ගැනවිල්ලක් විසඳා ගැනීමේ මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය භාවිතා කිරීම මෙන් ම, එලෙස හටගත් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමේදී ඊට එරෙහිව එය මැඩ පැවැත්වීමට ගනු ලබන ක්‍රියා මාර්ග ද ප්‍රශ්නකාරී විය හැකිය. ආසියාවේ සිට අප්‍රිකාව හරහා ලතින් ඇමරිකාව දක්වා අප කලාපයේ ගෙල සිර කරමින් පැතිර පවතින ත්‍රස්තවාදය නම් දම්වැලෙහි එක් ප්‍රබල පුරුකක් ගලවා දැමීමට අප රට සමත් වූයේ ය.
අප මැඩ පැවැත්වූයේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාරයකි. එය මුලින් උපුටා දැමීමෙන් පසුව ද, එය අපට බොහෝ අත්දැකීම් එකතු කළේය. එම අත්දැකීම් අද දවසේ ත්‍රස්තවාදයෙන් බැට කන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා හදා ගත හැකි බව අපගේ විශ්වාසයයි. එම රටවල් සමග අදට වඩා සක්‍රීය සංවාදයක නිරත වීමටත් ඒ වෙනුවෙන් හඬ නැගීමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.
සභාපතිතුමනි, මෙවර සැසි වාරයේ තේමාව වෙත එළැඹීමට මම ‍මෙය අවස්ථාවක් කර ගනිමි.‍ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ, විසි වැනි සියවසේ ලෝක ජනතාව මුහුණ දුන් මනුෂ්‍යත්වයට නිගා දෙන මානව ඛේදවාචකයන් නැවත මිහි පිට ඇති වීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව බව අපි දනිමු. මෙවර තේමාව වන්නේ “සාමය, ආරක්ෂාව, සහ මානව හිමිකම්” යන්න ය. මේ තේමාව මගින් අප පොළඹවනු ලැබ ඇත්තේ ඉහත සඳහන් එක්සත් ජාතීන්ගේ ආරම්භක අරමුණු ක්‍රියාවට නංවා දශක හතක් ගෙවී ඇති මේ අවස්ථාවේදී ඒ පිළිබඳව පසු විපරමක් කිරීම‍ටදැයි මට සිතේ.
සභාපතිතුමනි, ධරණීය සංවර්ධනය සඳහා ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සිදුවන සංවාදය මෙන් ම දකුණ සහ දකුණ අතර ඇතිවන සංවාදය ද වැදගත් වේ යැයි මම වි‍ශ්වාස කරමි. එකී දකුණේ සංවාදය පෝෂණය කිරීම සඳහා, ‍ගෝලීය දකුණ නියෝජනය කරන අප රටට, විශාල දායකත්වයක් ලබා දිය හැකිය.
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පැරණිතම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හිමකම් කියන රටවල් අතර ඉදිරියෙන් සිටියි. පසුගිය වසර තිහ පුරා පැවති යුද වාතාරණය මධ්‍යයේ පවා එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කර ගැනීමට අප රට සමත් විය. එම කාල වකවානුවේදී, ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට බාධා ඇති වුව ද, අප රට නිදහස ලැබූ දා සිට ‍පවත්වාගෙන ආ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය රැක ගැනීමට අපට හැකි විය. එහි වැදගත් අංශ වන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, හා දිළිඳුකම මැඩලීම මොහොතකට හෝ අත් නොහැර ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කර තිබේ.
නිදහස ලැබූ දා පටන් ම, බොහෝ සෙයින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කළ ශ්‍රී ලංකාව, අර්බුද මධ්‍යයේ වුව ද, මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළ අගයක් අත් කර ගැනීමට සමත්ව සිටියි‍. එම සාර්ථකත්වය මගින්, එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් අප කළ කැප කිරීම ‍පිළිබිඹු වෙයි.
සභාපතිතුමනි, කාන්තාවන් සහ තරුණයින් සවිබල ගැන්වීම සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය යුතු ය. එසේ ම, එමගින් ළමා ආරක්ෂණය ද තහවුරු විය යුතු ය. ‍තරුණයින්ගේ ‍බලාපොරොත්තු කඩවීම බොහෝ විට ගැටුමකට මූලය සපයයි. එසේ වුව ද, තිරසර සංවර්ධනයේ ගාමක බලවේගය වන්නේ ද තාරුණ්‍යය යි. එබැවින්, තරුණ පරපුර 21 වැනි සියවසෙහි දැනුම්-පාදක ලෝකය ජය ගත හැකි නිපුණතා පූර්ණ ශ්‍රම බලකායක් බවට පරිවර්තනය කිරීම අපගේ ව්‍යායාමයේ ආරම්භක ලක්ෂය විය යුතු ය. එය, පශ්චාත් 2015 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයකි. එලෙස ම, කාන්තාවන් සවි බල ගන්වන ජාතික වැඩ පිළිවෙළක් මගින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.
එසේ ම, ළමා පරපුරෙහි ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, කාර්යක්ෂම සහ මානුෂීය සමාජයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය සාධකයකි. තිරසර සංවර්ධනය යනුවෙන් මා හඳුනා ගන්නේ, මානව සමාජයේ සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍රයන්, එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර හෝ කණ්ඩායම් වශයෙන් ගෙන දියුණු කිරීම නොවේ. ඒ වෙනුවට, සමස්ත මානව සමාජය ම, අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත එක විට සහ ‍එක ලෙස ඔසවා තැබිය හැකි සර්වග්‍රාහී සංවර්ධන ආදර්ශයකි. ඒ සඳහා, නව විශ්වීය සංවර්ධන ප්‍රවේශයක අවශ්‍යතාව මම අවධාරණය කරමි.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ ප්‍රචලිත බෞද්ධ සම්ප්‍රදාය අනුව, මිනිසා මුහුණ දෙන ගැටුම් වර්ග තුනක් මම හඳුනා ගනිමි.මිනිසා ස්වභාව ධර්මය සමග කරන අරගලය ඉන් පළමුවැන්නයි. වඩාත් සුවපහසු භෞතික ජීවිතයක් සාක්ෂාත් කරගනු පිණිස අපි නිරන්තරයෙන් ම එම අරගලයේ යෙදී සිටිමු. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්තමානයේ ජීවත් වන මිනිසා, සංවර්ධනයේ නාමයෙන්, මිහි මඬල පුරා විසිර ඇති ස්වභාවික සම්පත් පාලනයකින් තොරව සහ අත්තනෝමතික ලෙස සූරා කමින් සිටියි.
දෙවැන්න නම්, මිනිසා සෙසු මිනිසුන් සමග කරන අරගලයන් වේ. මානව සමාජයේ පුද්ගලයින් අතර ද ජන කණ්ඩායම් අතර ද, ජාතීන් අතර ද මෙවන් අරගල සිදු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියෙන් අවධාරණය කරනු ලබන්නේ, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මගින් ආරක්ෂා නොකෙරෙන කල, මෙවන් ගැටුම් ඇතිවන බවයි.
‍තෙවැනි අරගලය නම්, මිනිසා තමා සමගම කරන අරගලයයි. මා පෙර සඳහන් කළ ‍අරගල දෙවර්ගය ම හට ගන්නේ, ‍අප අප සමගම කරන අරගලය පරාජය වූ විටයි‍. සියලු ගැටුම්වල මූලය වන්නේ මෙයයි. අන්තවාදයට ද, අති පාරිභෝජනවාදයට ද, අත්තනෝමතික පරිසර වි‍නාශයට ද, අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝනයට ද, විෂම අදායම් පරතරයට ද වගකිවයුත්තා වන්නේ, මිනිසුන් වන අප හට, අප තුළම ඇති දුර්වලතා මැඩ පවත්වා ගැනීමට ඇති නොහැකියාවයි.
එබැවින්, තිරසර සංවර්ධනය නම් දෙවොල ගොඩ නැගිය යුත්තේ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය නම් අත්තිවාරම මතය. ස්වයං-ශික්ෂණය, පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ජාතික මෙන්ම සමස්ත මානව වර්ගයාගේ මට්ටමින් ප්‍රගුණ කළ හැකි වේ නම්, එය මානව වර්ගයා තබන විශාල ඉදිරි පියවරක් වනු ඇත.
ජාතික නායකයින් වශයෙන් රැස්ව, විශ්ව ක්‍රියාකාරී සැලැසුම් නිර්මාණය කිරී‍මේදී, මා විසින් ඉහතින් සඳහන් කරනු ලැබූ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය පදනම් කර ගත් ප්‍රවේශය ආදර්ශයට ගන්නා ලෙස යෝජනා කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි!‘‘

Share this: