කොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර ඇත්තේ.
එහෙත් පාසල් පරිශ්‍රය තුළ විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ නිසා, විශේෂයෙන් ම පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවකාශයක් තුළ ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.
කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත්, මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද මේ සම්බන්ධයෙන් (16/09/2020) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.