කොටස් වෙළෙඳපොළේ ඇත්ත නැත්ත

කොටස් වෙළෙඳපොළේ ඇත්ත නැත්ත

ශ්‍රී ලංකාවේ සමාගම් 291ක් කොළඹ කොටස්

වෙළෙඳපොළ තුළ

ලැයිස්තුගතව තිබේ. ඒවායේ ප්‍රාග්ධන වටිනාකම රුපියල් බිලියන 2523 කි. එසේ ම ජාත්‍යන්තර මූල්‍යමය

ගිවිසුම් රාශියක් සමඟ කොළඹ කොටස්

වෙළෙඳපොළ ගිවිසුම්ගතව සිටී. කෙටි ආර්ථික

සංවර්ධනයට සෘජුවම

සම්බන්ධ වන කොළඹ කොටස් වෙළෙඳපොළ සක්‍රීය වීම යනු ආර්ථිකය සවිබල ගැන්වීමකි.

පාස්කු ප්‍රහාරයත් සමඟ දරුණු කඩාවැටීමකට ලක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ වාර්තාගත අන්දමින් යළි සක්‍රීය විය.

රොයිටර් පුවත් සේවය මේ සක්‍රීය වීම ගැන සඳහන් කරමින් කියා සිටියේ පසුගිය පෙබරවාරි 20 වැනි දිනට පසු කොටස් මිල ඉහළ අගයක් වාර්තා කෙළේ ඉකුත් සිකුරාදා බවයි. ‘ආයෝජක සෞඛ්‍යය’ වර්ධනය වීමක් ලෙස ද මේ අවස්ථාව හඳුන්වා දී තිබුණි.

සිකුරාදා දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 78.23 ක් ලෙස සටහන් ව තිබේ. සමාගම් 109 ක කොටස් මිල ඉහළ යෑම ද විශේෂ සිද්ධියකි. සමාගම් 54 ක මිල පහත වැටුණි. දිනය ඇතුළත ගනුදෙනු 11868 ක් මඟින් කොටස් දසලක්ෂ 50.1 ක් හුවමාරු විය.

බාට්ලීට් රෙලිගේට් ස්ටොක් බ්‍රෝකර්ස් හි අලෙවි කළමනාකාර වජිර මුණසිංහ මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කෙළේ ‘බැංකු පොලී අනුපාත පහත දැමීම සමඟ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට නැඹුරුවීමේ ප්‍රවණතාව ඉහළ ගිය බවයි. ජූලි මස 01 වැනි සඳුදා ඒකක 5376 ක් වූ සමස්ත කොටස් මිල දර්ශකය පසුගිය සිකුරාදා වන විට ඒකක 5872 දක්වා ඉහළ ගිය බව ද ඔහු කියයි. එසේම කොටස් මිල අන්තිම පහත් අඩියට වැටී තිබුණු නිසා ඉතා අඩු මිලට කොටස් ඩැහැගත් ආයෝජකයන් මේ වන විට ලාභ ලබන බවත්, කෙටි කාලයක් ඇතුළත විශාල ලාභයක් අත්කර ගැනීමට ආයෝජකයන්ට දැන් අවස්ථාව ලැබී ඇති බවත් ඔහු කියයි.

කෙටිකාලීන ආයෝජනයේ නියුතු එච්. එම්. ශ්‍රියාධි මහතා ප්‍රකාශ කෙළේ මැයි මස 13 වන දින JKH කොටසක් රුපියල් 136 බැගින් කොටස් 800 ක් මිලදීගත් තමා පසුගිය සිකුරාදා එක කොටසක් රුපියල් 149.00 බැගින් විකුණා ලාභය අත්කර ගත් බවයි.

කොටස් වෙළෙඳපොළක ආයෝජකයෝ දෙපිරිසකි. එක කොටසක් කෙටිකාලීන ආයෝජක පිරිසයි. සෙසු පිරිස දීර්ඝ කාලීන ආයෝජකයෝ ය. මේ අයුරින්ම රුපියල් 13.50 – 14.50 අතර මිල ගණන්වලට ඇක්සස් AEL කොටස් මිලදීගත් පිරිස් ඉකුත් සිකුරාදා එම කොටසක් රුපියල් 18.00 බැගින් විකුණා ලාභ ඉවත් කර ගත්හ. මෙය කලකට පසු ලද අවස්ථාවකි.

කොටස් අයිතිය

මෙසේ කෙටිකාලීන ආයෝජනයේ යෙදෙන පිරිස් ඇතැම් දිනවල එක දිනයක් ඇතුළත මිලදී ගැනීම් හා විකිණීම් අවසන් කර ලාභය ඉවත් කර ගනිති. මේ ක්‍රියාවලිය ONE DAY TRADE යනුවෙන් හැඳින්වේ. මෙයට විවේචන එල්ල පිරිස් ද වෙති.

කොටස් වෙළෙඳපොළක හැසිරීම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැරැදි අර්ථකථන ඉදිරිපත් කරන්නෝ කොටස් වෙළෙඳපොළ සූදු පිටියකට සමාන කරති. මෙය සම්පූර්ණ වැරැදි අර්ථකථනයකි. ධනවාදී ආර්ථික රටාව සමඟ ප්‍රාග්ධන ප්‍රශ්නයක් ද පැන නැඟිණි. ප්‍රාග්ධන සම්පාදනය සඳහා ධනවාදය විසින්ම නිර්මාණය කරගත් උපකරණය කොටස් වෙළෙඳපොළයි.

කොටස් වෙළෙඳපොළ සූදු පිටියකට සමාන කිරීමේ මතවාදය නිසා ඇතැම් ආයෝජකයෝ කොටස් වෙළෙඳාමට ලැජ්ජාවන බව ඇතැම් සමීක්ෂණ මඟින් හෙළිව තිබේ. කොටස් වෙළෙඳාමට සම්බන්ධ වෙත්ම ආයෝජකයකු යම්කිසි සමාගමක හිමිකාරීත්වයක් හිමිවේ. බූරු පිටියක ඔට්ටු තබන්නා ඔට්ටුවකින් පැරදීමත් සමඟ ඔහුගේ ඔට්ටු මුදල එවෙලේම අන් සතුවේ. එහෙත් කොටස් මිලදී ගන්නා පුද්ගලයාගේ කොටස් අයිතිය ක්ෂණිකව විනාශ වන්නේ නැත. ඔහු කොටසක අයිතිය දරන තාක් කල් ඔහුගේ අයිතිය ඔහු සන්තකයේ පවතී. ඔහුට හිමි වරප්‍රසාද එලෙසම හිමිවේ. සිදුවන පාඩුව කොටසක වටිනාකම අඩුවීමයි. බූරු පිටියකදී මෙන් ඔට්ටුව අන්සතු වන්නේ නැත.

කොටස් හිමියකුට සමාගමේ ලාභාංශ නිසැකව හිමිවේ. එසේම සමාගමේ වාර්ෂික රැස්වීමේදී සමාගමට අදාළ ඕනෑම කරුණක් ගැන විමසා සැක දුරුකර ගත හැකිය. කොටස් හිමියනගේ කැමැත්ත රහිතව සමාගමකට කටයුතු කළ නොහේ.

තවත් තර්කයක් නම් බ්‍රෝකර් සමාගම් සහ ධනවතුන් කණ්ඩායමක් එක්ව දුප්පත් ආයෝජකයන් සූරාකෑමක් කොටස් වෙ‍ළෙඳපොළ දී සිදුවන බවයි. බ්‍රෝකර්වරුන් විසින් දෙනු ලබන ආරංචි කවර අන්දමේ ඒවාදැයි විමසා බැලීමට හැකි අන්තර්ජාලය වැනි නවීන සන්නිවේදන ක්‍රම අද බහුලය. එහෙයින් බ්‍රෝකර්වරුන්ගේ ආරංචි මත යැපෙමින් කොටස් මිලදී ගැනීම සහ විකිණීමට තවදුරටත් අවශ්‍යතාවක් නැත. අවශ්‍ය තරම් ව්‍යාපාරික තොරතුරු සහ සන්නිවේදන පහසුකම් තිබේ.

එසේම කොටස් වෙළෙඳපොළ පිළිබඳ සියලු දැනීම් ලබාදෙන අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මකය. ස්වයං රැකියාවක් ලෙස කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන තරුණ පිරිස වැඩිවෙමින් තිබේ. කොටස් වෙළෙඳපොළ ජීවිකා වෘත්තිය බවට පත්කර ගත් බොහෝ තරුණ පිරිස් චීනය තුළද දක්නට ලැබේ. සෙසු රටවල ද එලෙසමය.

1896 තරම් ඈතට දිවෙන අතීතයක් සහිත කොළඹ කොටස් වෙළෙඳපොළ සතු ශාඛා මහනුවර, යාපනය, මීගමුව, මාතර, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර සහ අම්බලන්තොට යන නගරයන්හි ක්‍රියාත්මක වේ. මේ සෑම ශාඛාවකම අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා ඒ ඒ ප්‍රදේශයන්හි ව්‍යාපාරිකයනට සහ තරුණ පෙළට මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ දැනුම ලබා ගැනීමට එමඟින් අවස්ථාව සැලසේ. දැනීම ලබාගැනීමට බ්‍රෝකර්වරුන් හඹා යෑම අවශ්‍ය නැත.

ශ්‍රී ලංකාවේ සමාගම් 291 ක් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතව තිබේ. ඒවායේ ප්‍රාග්ධන වටිනාකම රුපියල් බිලියන 2523 කි. එසේම ජාත්‍යන්තර මූල්‍යමය ගිවිසුම් රාශියක් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ගිවිසුම්ගතව සිටී. කෙටි ආර්ථික සංවර්ධනයට සෘජුවම සම්බන්ධ වන කොළඹ කොටස් වෙළෙඳපොළ සක්‍රීය වීම යනු ආර්ථිකය සවිබල ගැන්වීමකි. කොටස් හිමි ජනතාවක් බිහිකිරීම වෙනත් රටවල ආර්ථික උපාය මාර්ගයකි. ශ්‍රී ලංකාව ද ඒ මඟ අනුගමනය කරයි.

ජූලි මාසය යනු 2019 වසරේ දෙවන කාර්තුවේ ආරම්භයයි. ජූලි මාසයේ සිව්වැනි සතියේ ක්‍රියාකාරීත්වය වාර්තාගත සිදුවීම් සහිතය.

පළමුවැනි සතියේ සඳුදා ඒකක 4.33 කින් ද, අඟහරුවාදා ඒකක 14 කින් ද, බදාදා ඒකක 20 කින් ද, බ්‍රහස්පතින්දා ඒකක 97 කින් ද, සිකුරාදා ඒකක 6 කින් ද සමස්ත කොටස් මිල දර්ශකය නොකඩවා වර්ධනය ‍විය.

මිල දර්ශකය

දෙවන සතියේ සඳුදා විකිණීම් වැඩිවූයේ ලාභය අත්කර ගැනීම් නිසාය. එදින ඒකක 11 කින් සමස්ත ‍කොටස් මිල දර්ශකය අඩු වූ නමුත් එම සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින හතරේම දර්ශකය ඉහළ ගියේය.

තුන්වැනි සතියේ ගනුදෙනු සිදුවූයේ දින හතරකි. එම දින හතරේම වෙළෙඳපොළ සක්‍රීය ලෙස ඉහළ අගයක් වාර්තා කෙළේය.

අනතුරුව එළැඹි සිව්වන සතියේ දර්ශකය සඳුදා පහත වැටුණු අතර ලාභය ඉවත් කර ගැනීම සඳහා වෙළෙඳපොළ තුළ කටයුතු සිදුවිය. කලකට පසු මෙසේ සුළු ආයෝජකයෝ ආදායමක් ලබා ගත්හ. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දක්වා නොකඩවා වෙළෙඳපොළ වර්ධනය වූ අතර සිකුරාදා දිනයේ කොටස් දසලක්ෂ 50 ක් හුවමාරු විය. ගනුදෙනු සංඛ්‍යාව 11868 කි. ජූලි මාසයේ පළමුවැනිදා සිට 26 වන සිකුරාදා වන විට සමස්ත කොටස් මිල දර්ශකය ව්‍යාපාරික දින 19 ක් තුළ ඒකක 496 කින් ඉහළ ගියේය.

ජූලි මාසයේ සිදුවූ ගනුදෙනු අතර LOLC කොටස් බිලියන 2.6 ක් රුපියල් බිලියන 8.89 කට හුවමාරු වීම තවත් විශේෂ සිද්ධියකි.

ආර්ථික සංවර්ධනයේ එක් මෙවලමක් වුවත් කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ 291 වැනි පිටුවේ සඳහන් වන අන්දමට “2017 වසර තුළදී අත්කර ගත් වර්ධනයට සාපේක්ෂව 2018 වසර තුළදී කොළඹ කොටස් ව්‍යාපාර වස්තු හුවමාරුව දුර්වල ‍කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. දේශීය සහ ගෝලීය වෙළෙඳපොළෙහි වූ අහිතකර වර්ධනයට ප්‍රතිචාර දක්වමින් 2018 වසර තුළ සමස්ත කොටස් මිල දර්ශකය පහත වැටුණි.”

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්තාව පවසන අන්දමට 2018 ඔක්තෝබර් 19 වැනිදායින් අවසන් වූ සතියේ 2018 සමස්ත කොටස් මිල දර්ශකයේ පහළම අගය වාර්තා කළේය. එය ඒකක 5761 යි. ඉකුත් 25 වැනි බ්‍රහස්පතින්දා කොළඹ කොටස් වෙළෙඳපොළ එම සීමාව පසුකොට ඒකක 5794 ට ළඟා වූ අතර සිකුරාදා ගනුදෙනු නිමාවූයේ ඒකක 78 ක එදින වැඩිවීමකින් ‍පසු ඒකක 5872 ක සීමාව සටහන් කරමිනි.

2018 කොටස් වෙළෙඳපොළින් ශුද්ධ විනිමය ගලා යෑම රුපියල් බිලියන 23.2 කි. විදේශ විනිමය මත ඇතිවූ පීඩනය ඉහළ යෑම, දේශපාලන, අස්ථාවරත්වය හා ගෝලීය ප්‍රවණතා නිසා ආයෝජක ආකල්ප වෙනස්වීම ශුද්ධ විනිමය රටින් පිට ගලා යෑමට හේතු වී යැයි මහ බැංකු වාර්තාව කියයි. මේ හේතු සියල්ල 2019 වසර මුල්භාගය වනතුරුත් එලෙසම පවතී. එසේම විනිමය රටින් ඉවතට ගලා යෑමේ අනතුර ද තවම තිබේ.

පසුගිය සිකුරාදා රොයිටර් මූල්‍ය වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව උපුටා දක්වමින් කියා සිටියේ මේ දක්වා රුපියල් බිලියන 18.46 ක ශුද්ධ විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම සිදුව ඇති බවයි. සිකුරාදා රුපියල් දසලක්ෂ 187.4 ක විදේශීය විකිනුම් වාර්තා වූ බව ද කියන එම වාර්තාව ජූලි 17 වනදායින් අවසන් වූ සතියේ රුපියල් බිලියන 1.22 ක් වටිනා බැඳුම්කර විදේශීයයන් විසින් මිලදී ගත් බව ද කියයි.

කොටස් වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා ගන්නා ලද පියවර රාශියකි. කලකට පෙර නැඟුණු චෝදනා කීපයකි. කොටස් වෙළෙඳපොළෙහි සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව පියවර නොගන්නා බව එක් චෝදනාවකි.

එවැනි අක්‍රමිකතා පිළිබඳ නීත්‍යානුකූල පියවර ගැනීම් සිදුව ඇත. එසේම විවිධ නියාමනයන්ද හඳුන්වා දී තිබේ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2017 වසරේ නොවැම්බර් ගැසට් පත්‍රයේ පළකරන ලද සුරැකුම්පත් හුවමාරු පනත සඳහා පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු අදහස් සමාලෝචනය කිරීමට අන්තර් අංශ කමිටුවක් පත් කිරීම එක් පියවරකි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ලෝක බැංකුව විසින් මතුකර ඇති ගැටලු සම්බන්ධව එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇත.

කොටස් වෙළෙඳපොළ කටයුතු හිතකර ලෙස පවත්වාගෙන යෑමට, අවම මහජන අයිතිකාරීත්ව අවශ්‍යතා සහ ලැයිස්තුගත කිරීමේ පටිපාටි උල්ලංඝනය කරන කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත පොදු සමාගම්වල කටයුතු සඳහා නීති බලාත්මක කර තිබේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු හරහා ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට පහසුකම් සලසමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව විවෘත කර ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප් ආයතනය 2019 මැයි දෙවැනි සතියේ ලන්ඩනයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමෙන් දෙරටේ ආයතන දෙකක් අන්‍යෝන්‍ය යහපතට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ද ඇරැඹිණි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ආයෝජකයන් දිරිමත් කිරීම ලන්ඩන් ස්ටොක් ආයතනය විසින් ඉටු කරෙන අතර ලංකාවේ බැඳුම්කර අලෙවිය සඳහා ද එම ආයතනය සිය සහාය පළ කිරීමට නියමිතය. මෙමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට හේතුවන නව පියවර ගන්නා බවට කොටස් වෙළෙඳපොළ සිය විශ්වාසය පළකරයි.

තේ වෙන්දේසිය

ජූලි 23 – 24 තේ වෙන්දේසිය සඳහා තේ කිලෝ දසලක්ෂ 7.3 ක් ඉදිරිපත් කර තිබුණි. ඉරාකය සහ ලිබියාව සක්‍රීය ගැනුම්කරුවෝය. චීනය, ජපානය, හොංකොං සහ යුරෝපීය රටවල් ද ක්‍රියාශීලී ලෙස කටයුතු කළහ.

තේ වගාව ඉහළ නැංවීමේ අරමුණින් උසස් තත්ත්වයේ තේ පැළ දසලක්ෂ 15 ක් නිෂ්පාදනය කර හෙක්ටයාර් 1000 ක නව තේ වගාවන් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් 2020 දී ක්‍රියාත්මක කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

උච්චාවචනය වෙමින් පැවැති ජාත්‍යන්තර තේ මිල ක්‍රමයෙන් ස්ථාවරත්වයට පත්ව තිබෙන අතර සැප්තැම්බර් වන විට තේ මිල ඉහළ යනු ඇතැයි මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයෙන් සියයට 73 ක් නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා තේ වතු ඉඩම් හිමියන් විසිනි.

Share this: