ජාතික රූපවාහිනියේ සභාපති ධුරය හිමිවීම මම හිතන්නේ ඔබේ ජීවිතයට නව මානයක්?
එක්තරා විදිහක නව මානයක්. මම මෙතෙක් කිසිදු රජයක කිසියම්ම හෝ නිලතලයක් දැරූ කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේක මට අලුත් අත්දැකීමක්. මම ඉතින් ඒ අලුත් වෙනසට මුහුණ දෙමින් ඉන්නවා.
එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ඒම සඳහා පුරෝගාමී වූ කලාකරුවෙක් වන ඔබ මෙවැනි තනතුරක් අපේක්ෂාවෙන් දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කළාය කියන චෝදනාව නැඟෙනවා නේද?
ඕනෑ කෙනෙකුට පුළුවන් චෝදනා කරන්න. නමුත් ඒ චෝදනාවලට පදනමක් තියෙන්න ඕනෑ. මම පක්ෂය මාරු කළා කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරැදියි. මම පක්ෂය මාරු කළේ නෑ. මොකද මට පක්ෂයක් තිබුණේ නෑ. මට අදත් පක්ෂයක් නෑ. නමුත් මම නියෝජනය කරනවා මේ රටේ ජනතාව කලාකරුවෙක් විදිහට. ඒ නිසා ජනතාව වෙනුවෙන් මම වරින් වර මගේ දේශපාලන මතය ප්‍රකාශ කරනවා. සමහර පක්ෂවලට ඒක වාසියි. සමහර පක්ෂවලට අවාසියි. මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව මම කතා කළ අවස්ථාවලදී සමහරු හිතුවා මම එතුමාගේ පක්ෂයේ කියලා. ඒත් එතුමාගෙන් රටට යම් යම් අවැඩදායී දේවල් සිදු වෙන කොට මම එතුමා විවේචනය කරන්න පටන් ගත්තා.
ඔබම පවසා තිබූ පරිදි ඒ විවේචන පටන් ගත්තේ එතුමා ජනාධිපති ධූරයට පත් වූ මුල් කාලේ ඉඳලා?
ඔව්. 2006 වසරේ ඉඳලා මම ඒ විවේචන සිදු කළා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම සඳහාම මා දේශපාලන ස්ථාවරය වෙනස් කළා කියා ඇතැමුන් හිතනවා. එය වැරැදියි. 2006 වසරේ ඉඳලම මම පැවැති රජය විවේචනය කළා. එහෙම නැතුව තනතුරු ලබා ගන්න දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කළ කෙනෙක් නෙවෙයි මම.
ඇයි ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරන තැනට පත් වුණේ?
ඔවුන් දිගින් දිගටම මට කෙනෙහිලිකම් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කලාකරුවන් සංවිධානය කිරීමේ කටයුතු සිදු කළේ මම. ලංකාව පුරාම මම කලාකරුවන් සමඟ ගියා. හැබැයි ඒ තනතුරු බලාපොරොත්තුවෙන් නෙවෙයි.
නමුත් ඔබේ නම යම්, යම් තනතුරු සඳහා යෝජනා වුණා?
එහෙම වුණා. නමුත් මම කැමැති වුණේ ස්වාධීනව ඉඳගෙන මගේ මතය ප්‍රකාශ කරන්න. හැබැයි මම බලාපොරොත්තු වුණා රජයේ කලා කටයුතු පිළිබඳ උපදෙස් ගැනීමේදී, තීන්දු තීරණ ගැනීමේදී අපෙන් මත විමසීමක් කරයි කියලා. සිනමාව, වේදිකාව, සංගීතය හා පොදුවේ මේ රටේ කලාව පිළිබඳ අපේ යම් මතයක් තිබෙනවා. නමුත් අපේ අදහස්, උදහස් ඔවුන් විමසුවේ නෑ. එවැනි තැන්වලදී මාව කොන් කරන ගතිියක් මට දැනුණා. නමුත් මම පැනලා ගිහින් ඒ දේවල් කියන්න ගියේ නැහැ.
මෙවැනි දේ නිසා ඔබ හිටියේ කලකිරීමෙන්?
ඇත්තටම මම කලකිරීමට පත් වුණා. මම හිතුවා ඉතින් ඒ උපදෙස් දෙන අයගෙන්ම ඒවා කර ගත්තාවේ කියලා. මට ගිහින් කියන්න බෑනේ ‘නෑ සර් එයාගෙන් අහන්න එපා. මගෙන් අහන්න’ කියලා. එයා විසින්ම පත් කර ගත්ත උපදේශකවරුන් හිටියා. ඒ අයගේ යම්, යම් උපදෙස් ක්‍රියාත්මක කරන්න ගිහින් අමාරුවේ වැටුණා. අපි උදාහරණයක් හැටියට ‘රන්මිහිතැන්න’ ටෙලි සිනමා ගම්මානය ගනිමුකෝ. එදා මම මහින්ද රාජපක්ෂ මහතාට කිව්වා ‘සර් මේක මෙතන හදන්න එපා. මේක මුදල් නාස්ති කිරීමක්’ කියලා. නමුත් මම කියපු දේ පිළිගත්තේ නෑ. අනෙක් උපදේශකයෝ කියන ඒවා පිළි අරගෙන හැදුවා. දැන් අද තේරුම් අරගෙන තියෙනවා ඒක විනාශයක් තමයි කියලා. තවත් එවැනි බොහෝ අනර්ථකාරී දේවල් සිදු වුණා.
ඒ මොනවාද?
‘නෙළුම් පොකුණ’ හදද්දිත් මම කිව්වා අපට මෙවැනි රඟහලක් අවශ්‍යයි. ඒත් සාමාන්‍ය නාට්‍යය නිර්මාණකරුවන්ටත් තමන්ගේ නිර්මාණ එළි දක්වන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. අද ඒක නාට්‍යකරුවන්ට හිමි නැති, ඔවුන්ට නාට්‍යයක් පෙන්නන්න බැරි එක්තරා පැළැන්තියකට පමණක් සීමා වූ රඟහලක්. ‘රන්මිහිතැන්න’ කියන්නේ චිත්‍රපට හැදෙන්නේ නැති ටෙලි – සිනමා ගම්මානයක්.
නමුත් වර්තමානයේ එහි දැවැන්ත චිත්‍රපටයක් රූගත කෙරෙනවා?
ඔව්. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘පත්තිනි’ චිත්‍රපටය. මේ එහි රූගැන්වෙන දෙවැනි චිත්‍රපටය. මුල්ම චිත්‍රපටය හැටියට තමයි ‘කුස-පබා’ රූගත කළේ. මමත් එහි නිෂ්පාදකවරයෙක්. කොහොම හරි මේ සිනමා ගම්මානය පවත්වාගෙන යන්න ඕනෑ නිසයි එදා මම එවැනි දේකට සම්බන්ධ වුණේ. ඒත් මට තේරුණා ඒක ඵලරහිත ක්‍රියාවක් කියලා. මොකද ගමනාගමනය තමයි අපේ ලොකුම වැය. දැන් සුනිල් ආරියරත්න මහත්මයාටත් තේරෙයි එතැන වැඩ කිරීම නිසා එයාගේ වැය පාර්ශවයන් වැඩි වුණා කියලා. එතුමාට ‘කුසපබා’ එකේදී ඒ වැය පාර්ශ්වය තේරුණේ නෑ. මොකද ඔහු නිෂ්පාදකයා නොවුණ නිසා.
ඔවැනි කරුණු පදනම් කරගන තමයි ඔබ අලුත් දේශපාන සංස්කෘතියකට මුල පිරුවේ?
මම මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවේ මැතිවරණයක සේයාවක්වත් නැති සමයක. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී විතර. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් ඉවත් වෙනව ද කියලා දන්නෙත් නෑ. ඉතිං මම විශාල අවදානමක් අරගෙන ස්වාධීන කලාකරුවෙක් හැටියට තමයි මේ දේශපාලන සංස්කෘතිය දූෂිතයි කියන මතය ප්‍රකාශ කළේ. එය වෙනස් කළ යුතුයි කියලා මම තනි හඬක් නැඟුවේ ඒ දවස්වල. හැබැයි ඒ කිසිම කණ්ඩායමක් හෝ පක්ෂයක් හෝ ඉලක්ක කරගන නෙවෙයි. මම දැක්කා එවකට තිබූ රජය ගෙන ගිය ඒ ක්‍රියා පිළිවෙත වැරැදියි කියන එක. සංස්කෘතිය, කලාව පිළිබඳ මෙන්ම සමස්තයක් විදිහට රටේ තිබුන දේශපාලන සංස්කෘතියත් වැරැදියි කියලා එදා මම නොබියව ප්‍රකාශ කළා.
එදා ඔබේ මතය පිළිගත් ඊට සහාය පළ කළ වෙනත් කලාකරුවන් සිටියේ නැහැ?
එහෙම විරුද්ධ මතයක් ගොඩ නගද්දී එහෙම කවුරුත් හිටියේ නෑ. ඒ නිසයි මම ඔබට කිව්වේ ඒ මාධ්‍ය සාකච්ඡාව මම පැවැත්තුවේ තනියම කියලා. ඒකේ වාර්තා ඇති. එදා හිටියේ නෑ. ඊට පස්සේ ජනාධිපතිවරණයක සේයාවක් එනවා. පොදු අපේක්ෂකයෙක් ගැන කතා වෙනවා. නමුත් ඇත්තට මම දැනගෙන හිටියෙත් නෑ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වෙන වග. ඊට පස්සේ තමයි එතුමා ආණ්ඩුවෙන් ඇවිත් පොදු අපේක්ෂකයා බවට පත් වෙන්නේ. හැබැයි ඊට පෙර රතන හාමුදුරුවෝ සහ පාඨලී චම්පික එක්ක මම දේශපාලනමය වශයෙන් ලොකු සංවාදයක් ගෙන ගියා. අපි මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා කුමක් ද කළ යුත්තේ කියන එක ගැන. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා අපි තීරණය කළේ ඒ අරමුණ පෙරදැරිවයි.
එතකොට ඔබට පසුගිය රජයෙන් කිසියම් අසාධාරණයක් සිදු වුණාද. මම අහන්නේ සිනමාකරුවෙක් හැටියට?
මට අසාධාරණයක් වුණා. ඒකට මම දොස් කියන්නේ හිටපු ජනාධිපතිතුමාට නෙවෙයි. සිනමා ක්ෂේත්‍රය බාරව සිටි නිලධාරීන්ට. චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා සහ එය බාරව සිටි ඇමතිතුමා, ලේකම්තුමා තමයි එහි වගකීම බර ගත යුත්තේ.
පිටපත් 35 – 55 ප්‍රශ්නය නේ ඔබ ඔය කියන්නේ?
ඔව්. ඇත්තටම එදා ඒක මට ලොකු කන්දොස්කිරියාවක් වගේම මුදල් නාස්තියකුත් වුණා. මම කිව්වා එදා මේ පිටපත් 35 සීමාව ගේන්න එපා කියලා. ඒක මට විතරක් නෙවෙයි වෙනත් සිනමාකරුවන්ටත් අනාගතයේ විශාල ප්‍රශ්නයක් වෙයි කියලා මම එදා කිව්වා. මේ ක්‍රමය ගෙනිච්චොත් සිනමාව කඩා වැටෙනවා කියලා මම කිව්වා. ඒ වෙනුවෙන් හඬ නැඟුවා. ඇමතිතුමාගෙන්වත්, ලේකම්තුමාගෙන්වත්, චිත්‍රපට සංස්ථා සභාපතිතුමාගෙන්වත් මට සහනයක් ලැබුණේ නෑ. ඒ සේරම හිටියේ එක මතයේ.
නමුත් හිටපු ජනාධිපතිතුමන් ඔබට ඒ සඳහා විසඳුමක් ලබා දුන්නා?
අන්තිමට මට කියන්න කෙනෙක් නෑනේ. මම ජනාධිපතිතුමාට කිව්වා. මෙන්න මේ විදිහේ වැරැද්දක් සිදු වෙනවා කියලා. එතකොට එතුමා කිව්වේ පිටපත් 35 නීතිය ගෙනෙන්නට පෙර මේ චිත්‍රපටය හදලා තිබුණ නම් හෝ එහි වැඩ කටයුතු ආරම්භ කර තිබුණා නම් ඒ නීතය අදාල නොවන බවයි. ඒ නිසා ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන්න එතුමා උපදෙස් දුන්නා. එතුමා මට කළ පෞද්ගලික උපකාරයක් නෙවෙයි ඒක. එතුමා එතන නීතිය ඉෂ්ට කරන්න මැදිිහත් වුණා. ඒකට මම ස්තුතින්ත වෙනවා එතුමාට.
ඇතැමුන් චෝදනා කළේ ඔබ එවැනි වරප්‍රසාද ලබා ගෙන හිටපු ජනපතිතුමන්ට ද්‍රෝහි වූවා කියායි?
සෝමරත්න දිසානායක අපේ පක්ෂයේ මිනිහෙක්. ඒ නිසා මෙයාට උදවු කරන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙ නෑ. සාධරණ ක්‍රියා පිළිවෙතක් දියත් කළා පමණයි. වෙන කාට හරි ඒ අසාධරණය වුණා නම් එතුමන් ඒ අයුරින්ම ක්‍රියා කරාවි. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට පස්සේ චිත්‍රපට කීයක් පිටපත් 35 සීමාව අභිබවා ගියාද? කවුරුත් ඒවාට කතා කළේ නෑ. මගේ එකට විතරයි කතා කළේ. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ඒ බොහෝ දේවල් ඊර්ෂ්‍යාව, කුහකකම මුල් කර ගත් ප්‍රලාප මිසක පදනමක් සහිත කළ චෝදනා නොවන වග.
දැවැන්ත සිනමා නිර්මාණ සඳහා එම පිටපත් ප්‍රමාණය සෑහෙන්නේ නැති බවයි ඔබ කියන්නේ?
Blockbuster නැතිනම් අධි ප්‍රතිචාර ලබන චිත්‍රපට සඳහා පිටපත් ප්‍රමාණය නිෂ්පාදකයාගේ අභිමතය පරිදි මුදා හැරීමේ අවකාශය නිෂ්පාදකයාට ලබා දිය යුතුයි. ඒ කියන්නේ පිටපත් 55 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්.
මීට පෙර රජයෙන් පිරිනැමුණු තනතුරු බාර නොගත් බව ඔබ කිව්වා. එවැනි ස්ථාවරයක සිටි ඔබ ඇයි මේ විදිහට ආයතනගත වුණේ?
දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව එතුමා මුලින්ම කළේ ජනාධිපති ලේකම්වරයකු පත් කිරීම. ඊළඟට ආරක්ෂක ලේකම් කෙනෙක් පත් කළා. ඉන් පසු එතුමා කළ පත්වීම තමයි මේ රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරය. මට පුදුම හිතුණා. ජනාධිපති හැටියට දිවුරුම් දුන් දිනට පසුවදා එතුමා මට කතා කළා එතුමාගේ නිල නිවාසයට. ‘සෝමේ ඔයා රූපවාහිනි සංස්ථා සභාපති ධූරය බාර ගන්න ඕනෑ’ කියලා. එතකොට මම කිව්වා ‘නෑ සර් මගේ කැමැත්ත ස්වාධීන කලාකරුවෙක් හැටියට ඉන්න එක තමයි’ කියලා.
ඊට පස්සේ?
එතුමා ‘මේ රටට අවශ්‍යය අලුත් වෙනසක්, ඒක දේශපාලන වෙනසක් වගේම මාධ්‍ය සංස්කෘතියේ වෙනසකුත් වෙන්න ඕනෑ’ කියා කිව්වා. එය කළ හැකි කේන්ද්‍රස්ථානය තමයි මේ ජාතික රූපවාහිනිය. ඒ නිසා මට විශ්වාස හැම අතින්ම පළපුරුද්ද තියෙන කෙනෙකු හැටියට ඔබ මේක බාර ගන්න ඕනෑ’ කියලා එතුමා මට දෙවැනි වතාවටත් කිව්වා. එහෙම කිියද්දී එතුමාට පිටුපාන්න මට බැරි වුණා.
මෙබඳු වගකීමක් බාර ගැනීම අභියෝගයක් කියා සිතුණේ නැද්ද ඔබට?
නැහැ. මොකද ඒ සඳහා දැනුම, අවබෝධය මට තියෙනවා. අවශ්‍ය සුදුසුකම් තියෙනවා.
මේ තනතුර සඳහා ඔබ සුදුස්සෙක් නොවන වගට ඇතැමුන් චෝදනා නැඟුවා?
එහෙම චෝදනා එල්ල කරන අය එළිපිට එන්නේ නෑනේ. මම විවෘත ආරාධනාවක් කළා ඕනෑ කෙනෙකුට මාත් එක්ක කතාබහ කරන්න එන්න කියලා. මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්තුවා. ඔබත් ඊට සහභාගි වුණානේ. තවත් අවශ්‍ය නම් මම නිදහස් ගුවන් කාලයක් ලබා දෙනවා ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. හැබැයි කවුරුවත් එන්නේ නෑ. ඒත් කැලෑ පත්තර වදිනවා. ඔය සමාජ ජාල වෙබ් අඩවිවල එක එක දේවල් පළ කරනවා. නිර්නාමික ලිපි එනවා. කට කතා යනවා.
ඒ සියලු චෝදනා පදනම් විරහිතයි කියලයි ඔබ කියන්නේ?
පදනම් විරහිතයිනේ. දැන් කවුරු හරි කියනවා නම් මගේ පත්වීමට විරුද්ධයි කියලා ඒකට හේතුව මොකක් ද කියලා කියන්න ඕනෑනේ. එතකොට ඒකට මට උත්තර දෙන්න පුළුවන්. මම නොදන්නා හේතුවක් තියෙනවා නම් මම ඒක පිළි අරගෙන අයින් වෙනවා. මම නුසුදුසුයි කියනවා නම් මොකක් ද මගේ නුුසුදුසුකම? මගේ අධ්‍යාපන සුදුසුකම් මදිද? මගේ භාෂා දැනුම මදි ද? මගේ කලා කුසලතාවන් එහෙම නැතිනම් සාමාන්‍ය දැනුම මදි ද? එහෙම මොකක් ද මදි කියන එක මට තේරෙන්නේ නෑ.
කොහොම වුණත් ඔබට ලැබෙන්නේ, ඔබම කියූ පරිදි පාඩු ලබන ආයතනයක්?
අපි තාම නිසි ලෙස ගණන් හිලව් බලලා නෑ. ඒත් ඒ පාඩුව ලක්ෂ ගණනින් නෙවෙයි කෝටි ගණනින් තමයි අපට කියන්න වෙන්නේ. පසුගිය මැතිවරණයේදී පැවැති රජය විසින් විශාල ලෙස ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් විකාශය කළා. ඒවාට මුදල් ගෙවා නෑ. ඒ විදිහට අපට අහිමි වෙච්ච ගුවන් කාලය කෝටි හතරකින් පහකින් තමයි ගෙවන්න තියෙන්නේ.
කවුද ඒවා ගෙවන්නේ?
අපි නීති මාර්ගයට යනවා. අපි හොයනවා, තවම විමර්ශණය කරනවා කවුද මේකට වගකිව යුත්තේ කියලා. නීති මඟින් ඒ මුදල් අය කර ගත හැකි නම් අපි ඒ විදිහට අය කර ගන්නවා. එහෙම නැතිනම් අදාල විමර්ෂණයෙන් පස්සේ අපි ඒ සියල්ල මාධ්‍ය මඟින් හෙළිදරවු කරනවා. ඒක මේ ඉදිරි දින කිහිපය තුළ සිද්ධ වෙනවා.
ජාතික රූපවාහිනිය හංවඩු ගැහිලා තියෙන්නේ පවතින රජයේ හොරණෑවක් විදිහට. මේ නිසා එම නාළිකාව පසුගිය කාලයේ ජනතාවගෙන් දුරස් වූ නාළිකාවක් බවට පත්ව තිබුණා. ඇත්තම කිව්වොත් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති පවා නොබලන තත්ත්වයට ජනතාව පත් වෙලා හිටියා?
ඔව්. ඇත්තටම මම බැලුවෙත් නෑ. රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න ඕනෑ නිසා අපි රූපවාහිනිය සහ අයි. ටී. එන්. එක හැර සෙසු නාළිකා තමයි නැරැඹුවේ. ඒ කියන්නේ රටේ ජනතාවගේ පිළිගැනීමක් තිබුණා රාජ්‍ය නාළිකාවල ඇත්ත ප්‍රකාශ වෙන්නේ නෑ කියලා. ඒක ඇත්ත. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ තිබුණ දේශපාලන හා මාධ්‍ය සංස්කෘතිය වැරැදියි කියලා. මාධ්‍ය ආයතනවලට රජයේ පාලනයක් තිබිය යුතු බව ඇත්ත. නමුත් ඒවා රජයේ හොරණෑ බවට පත් විය යුතු නැහැ. පසුගිය කාලයේ ලේක්හවුසිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය, ලක්හඬ ඒක පාර්ශවීය මාධ්‍ය පිළිවෙතක් ක්‍රියාත්මක කළේ.
අද නිදහස්, සාධාරණ, අපක්ෂපාති මාධ්‍ය පිළිවෙතක් ක්‍රියාත්මක වෙනවාද?
මේ පත්වීම ලැබිලා පළමුවැනි කතාවේදී මම කිව්වේ ජාතික රූපවාහිනිය කියන්නේ ජනතා නාළිකාව. අපි වග කියනවා මේ රටේ සියලුම ජනතාවට කියලා. මේ රටේ ජනතාව කිව්වම මේ රජයට පක්ෂ, විපක්ෂ දෙපිරිසම ඉන්නවා. ඔවුන් සියල්ලෝම මේ රටේ පුරවැසියෝ. ඒ නිසා හැමෝටම අයිතියක් තියෙනවා මේ රටේ සිදු වෙන දේවල් පිළිබඳ ප්‍රවෘත්ති දැනගන්න. ඒවා සමබරව, නිවැරැදිව, අපක්ෂපාතීව මහජනතාව වෙත ඉදිරිපත් කරන්න අපි දැනටමත් කටයුතු කර තිබෙනවා.
එතකොට මේ රජයට විරුද්ධව කටයුතු කළ කලාකරුවන් ඉදිරියේදී කිසියම් වාරණයකට ලක්වේද කියන කුකුස සමහරුන්ට තියෙනවා?
අපට අදාල වෙන්නේ කලාකරුවාගේ පක්ෂය මොකක් ද, ඔහු වැඩ කරපු නායකයා කවුද කියන එක නෙවෙයි. අපට වැදගත් වන්නේ ඒ කලාකරුවාගේ කලා කුසලතා. ඔහු සැබෑ කලාකරුවෙක් නම් ඔහුගේ දේශපාලන මතය කුමක් වුවත් ජාතික රූපවාහිනී නාළිකාවේ දොර ඔවුන්ට විවෘතයි.
ඔබේ නිර්මාණ දිවිය ආලෝකමත් කරන්නට, ඔබේ සිතැඟියාවනට අනුකූලව ඒ නිර්මාණ ආවේශය ප්‍රේක්ෂකයනට දනවන්න මුල් වුණ ඔබේ ප්‍රධාන සහායකයන් දෙදෙනකු තමයි ජැක්සන් ඇන්තනි සහ රෝහණ වීරසිංහ. දැන් ඔවුන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක තමයි පහුගිය මැතිවරණයේදී සිටියේ?
මම හිතන්නේ නෑ ඒක දේශපාලන ප්‍රතිවිරුද්ධත්වයක් කියලා. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.
දැන් කොහොමද ඔවුන් සමඟ ඔබේ අසුර, පෙර තිබූ හිතවත්කම් තවම තියෙනවාද?
ඔවුන් දෙදෙනා මගේ මිත්‍රයින්. ඔවුන් නිර්මාණකරුවන් හැටියට මම අගය කරන සහ මම විශ්මයට පත් වන කලාකරුවන් දෙදෙනෙක්. ජැක්සන් ඇන්තනි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ රංගධරයෙක්. රෝහණ වීරසිංහයන් කියන්නේ මම මේ රටේ අගය කරන මගේ ප්‍රියතම සහ මම අදහන සංගීතඥයෙක්. ජැක්සන් හා රෝහණගේ ඒ විශිෂ්ට කලා ප්‍රතිභාවන් මා කිසිසේත්ම හෑල්ලුවට ලක් කරන්නේ නෑ. මින් මතුවටත් ඔවුන්ගේ අකැමැත්තක් නැතිනම් මගේ මීළඟ චිත්‍රපටවලටත් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මගේ විශාල කැමැත්තක් තියෙනවා.
ජාතික රූපවාහිනිය දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමයි ඔබේ අභිලාෂය. ඒ සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් වෙනස් කිරීමට හිතන එකම අභියෝගයක්. මෙය හුදෙකලා සටනක් කියා හිතෙන්නේ නැතිද?
නැහැ. ඒ අභියෝගය මම බාර ගත්තා. ප්‍රවෘත්ති අංශයට මම විශේෂයෙන් අවධානය යොමු කරලයි ඉන්නේ. රජයේ ප්‍රවෘත්ති පමණක් නෙවේ මේ රටේ සිදු වන හැම ප්‍රවෘත්තියක්ම මහජනතාවට අපි ඉදිරිපත් කරනවා. රජයට පක්ෂව කතා කරන අයට වගේම ඊට ප්‍රතිවිරුද්ධ මත දරන අයටත් අපි එක සමාන අවස්ථා ලබා දෙනවා. දේශපාලන වැඩසටහන් සඳහාත් අපි රජයට හිතැති කණ්ඩායම්වලට වගේම එය විවේචනය කරන අයටත් සමානව ඒ අවස්ථාවන් ලබා දෙනවා. ඒක ජාතික රූපවාහිනියෙන් සිදු වෙනවා. එහෙම සිදු නොවෙනවා නම් එහෙම මම එතැන හිඳීමෙන් වැඩක් නෑ.
නමුත් ඔබ ඇතැම් රූපවාහිනී වැඩසටහන් නවත්වන්න තීරණය කළා. විශේෂයෙන්ම ඡ්‍යොතිෂ වැඩසටහන් හා ඇතැම් ටෙලි නාට්‍යය?
ජ්‍යෙතිෂය කියන එක මම අභියීගයට ලක් කරනවා නෙවෙයි. එය වැරැදි යයි කියනවාත් නෙවෙයි. නමුත් නිතිපතාම උදය වරුවට අපි ජ්‍යෙතිෂය වැඩ සටහනකින් කියනවා දවසේ සුබ හෝරාව, රාහු කාලය, මරු සිටින දිශාව ආදී වශයෙන්. අසවල් වෙලාවේ සිට අසවල් වෙලාව තෙක් රාහු කාලය ලෙස. මේ වගේ ප්‍රකාශයක් කළාම ප්‍රසිද්ධ නාළිකාවකින් කෙනෙක් කොහොමද වැඩට යන්නේ. ළමයි ස්කෝලේ යන්නේ කොහොමද? පසුගිය මැතිවරණයේදීත් අපට සනාථ වුණා ජ්‍යෙතිෂවේදීන්ගේ අනුමාන නිවැරැදි අනාවැකි නොවන වග.
එතකොට විකාශය අත්හිට වූ ටෙලි නාට්‍යය පිළිබඳ කතා කළොත්?
විකාශය වූ ටෙලි නාට්‍යය කිහිපයක්ම තිබුණා. ඒවාට රූපවාහිනියෙන් මුදල් ගෙවනවා විතරයි. අපට මුදල් ලැබෙන්නේ නෑ කීයක්වත්. ඒ නාට්‍යය දුර්වල තත්ත්වයක තිබෙන නිසා කවුරුවත් වෙළෙඳ දැන්වීම් දෙන්නෙත් නෑ. නමුත් රූපවාහිනියෙන් නිෂ්පාදකයාට මුදල් ගෙවලා. ඒ්ත් ඇග්‍රිමන්ට් ගහලා මොකුත් නෑ. ඒ නිසා එවැනි නිසි ක්‍රමවේදයක් නොතිබූ ටෙලි නාට්‍යය කිහිපයක්ම මම නැවැත්තුවා.
පසුගිය කාලේ රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා ලිංගික අල්ලස් වගේම කොමිස් මුදල් පවා දෙන්න සිදු වුණා. මේ නිසා නිෂ්පාදකයන් වගේම නිර්මාණකරුවනුත් අසරණ වුණා. ඒ පිළිබඳ විශේෂ මැදිහත්වීමක් ඔබ කරනවාද?
අනිවාර්යයෙන්ම. ඒ ගැන දැනටමත් සොයා බලමින් ඉන්නේ. මේ පිළිබඳ විමසද්දී අපට දැනගන්න ලැබුණා එක එපිසෝඩ් එකක් විකාශය කරන්න රුපියල් පනස් දාහක පගාවක් දෙන්න සිදුවුණා කියලා. ඊට පස්සේ නිෂ්පාදකයාට ලැබෙන්නේ සොච්චම් මුදලක්. හැබැයි කටකතා විදිහට තමයි ඒවා අහලා තිබුණේ.
නමුත් දැන් ඒ කටකතා ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වෙලා?
රූපවාහිනියට ඇවිත් මේ පිළිබඳ පරික්ෂණය කරද්දී තමයි තේරෙන්නේ මේ කියපු කතාවල් ඔක්කොම ඇත්ත බව. එක්තරා ඇමැතිවරයකුගේ සහෝදරයකුගේ ගිණුමට මුදල් බැර කරලා තියෙනවා. ඒවා ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා. දැනට ඒ පිළිබඳ අපි පරීක්ෂණය කරමින් සිටිනවා. ඒ සමීක්ෂණ වාර්තාව ලැබුණ පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි මේක රටට හෙළි කරනවා. මේ දූෂකයින්, වංචාකාරයින් රටට හඳුන්වා දීම අපේ යුතුකමක්.
එමඟින් නිර්මාණකරුවාට හා නිෂ්පාදකයාටත් සාධාරණයක් ඉෂ්ට වෙයි?
අනිවාර්යෙන්ම සාධාරණයක් ඉෂ්ට වෙනවානේ. බලන්න අහිංසක නිර්මාණකරුවන් මොන තරම් දුක් විඳලද ටෙලි නාට්‍යයක් හදන්නේ. සමහර වෙලාවට ණයට, පොලියට අරගෙන තමන්ගේ ගෙවල් දොරවල්, එහෙම නැතිනම් බිරියගේ ස්වර්ණාභරණ උගස් කරලා තමයි ඒ සඳහා මුදල් සොයා ගන්නේ. මහ විශාල අවදානමකින්නේ මේ වැඩේ කරන්නේ. එපිසෝඩ් එකකින් රුපියල් පනස් දාහක් කියන්නේ සුළු පටු මුදලක් ද. සමහර වෙලාවට ලක්ෂයක් වගේ මුදලක් තමා හම්බ වෙන්නේ. එයින් සියයට පනහක් අතනට ගෙවපුවම ඒ මනුස්සයා කොහොමද අනෙක් පිරිවැය පියවා ගන්නේ. ඇත්තටම මේවා සහගහන අපරාධ. එහෙම අසාධාරණයට ලක් වූ අයට අපි නොපමාව සාධාරණය ඉටු කරනවා.
අසංක දේවමිත්‍ර පෙරේරා