කැටගොඩටත් නොතීසි – ෆොන්සේකාගේ පෙත්සම විභාගයට

කැටගොඩටත් නොතීසි – ෆොන්සේකාගේ පෙත්සම විභාගයට

තමන්ට අහිමි වු මන්ත්‍රී ධුරය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයෙන් අවසර ලබාදී තිබේ.

ලබන මාර්තු මස 9 වන දින අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළ බව අධිකරණ වාර්තාකරු අප වෙත සඳහන් කළේය.

යුධ අධිකරණය මගින් තමන්ව වරදකරු කිරීමෙන් පසුව තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වු අතර ඉන් පසු එම මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කළ බව පෙත්සම ඉදිරිපත් කරමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට තමා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ හේතුවෙන් යළි මන්ත්‍රී ධුරය දැරීමට තමන්ට නීතිමය හිමිකමක් පවතින බැවින් එම මන්ත්‍රී ධුරය සඳහා තමා නම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් මැතිවරණ කොමසාරිස්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළ බව සඳහන් කළේය.

Share this: