කාම අග්නි

කාම අග්නි

“සර්, මං ආදරය කරපු කෙනා අද වෙන කෙනෙක් එක්ක හාද වෙලා මගෙන් වෙන් වෙන්න හදනවා. මට ඒක දරා ගන්න බැහැ. මම ගිනි අරගෙනයි ඉන්නේ. අනේ සර්, මාව ගින්නකින් පිච්චෙනවා වගේ. මට මාවම පාලනය කර ගන්න බැහැ. සිය දිවි නසා ගන්නත් වෙලාවකට හිතෙනවා. නෑ එහෙම නෙවෙයි, ඌත් මරාගෙන, ඒකිත් මරාගෙන මාත් මැරෙනවා….”

එය ආදරයෙන් පැරදී දිනක් අප හමුවට පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ කථාවකි. ඔහු සූදානම් වන්නේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමට ය. අධික බැඳීම් නිසා කාමග්නියෙන් වියරු වූ ඕනෑම පෘථග්ජන අයෙකුගේ තත්ත්වය මෙබඳු විය හැකිය. සාංසාරික ජීවිතයේ අප දුකට පත්වන්නේ අධික ඇලීම් සහ ගැටීම් හේතුවෙන් බව බුදු සමය පෙන්වා දෙයි. නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් කාමයන් පිළිබඳ ඇල්ම සත්වයන් කෙරෙන් තුරන් වන්නේ නැත. ගිහිගෙය කලකිරී සසුන් ගත වූ ඇතැම් පැවිද්දන් පවා කම්සැප කෙරෙහි අධික ආශාවෙන් උපැවිදි වී නැවත ගිහිගෙය සොයා පැමිණෙන ආකාරය පවා අපි දැක ඇත්තෙමු. අධික කාම බන්ධනය හේතුවෙන් ලෞකික ධ්‍යාන උපදවාගෙන සිටි අය පවා එම ධ්‍යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳ කථා පුවත් බෞද්ධ සාහිත්‍යයේ දී අපට හමුවේ. කාමග්නියේ බිහිසුණු ස්වභාවය එයයි.

කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමයෙන් මිදෙන්නට කිසිදා සූදානම් නැත. කාමයෙහි ආදීනව දැන-දැක සිටීම අප කාටත් මෙලොව-පරලොව සුගතිය පිණිස හේතු වේ. කාමයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේ දී උපමා දහයක් ම`ගින් පෙන්වා වදාළ සේක. ඒ මෙසේය.

“….අත්ථී කන්කලූපමා කාමා, මංස පේසු උපමා කාමා, තිනික්කු උපමා කාමා, අංගාර කාසු උපමා කාමා, සුපින කූපමා කාමා, යාචිත උපමා කාමා, රුක්ඛ පලූපමා කාමා, අතිසුනු උපමා කාමා, සක්ති සලූපමා කාමා, සප්ප සිරූපමා කාමා….”

කාමය ඇට කැබැල්ලක් හා සමාන ය. එය අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකට සමාන ය. මස් නැති, ලේ නැති ඇට කැබැල්ලක් කෙතරම් වේලාවක් කටේ රඳවාගෙන සිටියත් සුනඛයාගේ කුස නොපිරෙන්නේ යම් සේ ද අර්ථශුන්‍ය කම් සැපයෙහි ගැති වූවකු දැන් එය ප්‍රමාණවත් යැයි සිතා එයින් කිසි දිනෙක සම්පූර්ණත්වයට පත් වන්නේ නැත. කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇති අර්ථ විරහිත අල්ප වූ රසය කිසිදා නොවැටහේ. එබැවින් කාමය මස් ලේ නොමැති වියළි ඇට කැබැල්ලක් හා සමාන ය.


කාමය මස් කැබැල්ලක් හා සමාන ය. මස් කැබැල්ලක් රැගෙන අහසට පියඹා යන උකුස්සකු පසුපස එම මස් කැබැල්ල ඩැහැ ගැනීමට අනෙක් උකුස්සෝ හඹා යති. කාමයෙහි ආදීනව නොදැන-නොදැක දිගින් දිගටම ඒ කෙරෙහි ලොල් වීමෙන් උරුමවන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්වූ ඉරණම හා සමාන ඉරණමකි. විඳින්නට සිදුවන්නේ එම උකුස්සාට මුහුණ දිමට සිදු වන පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වී එහි ම ගිලිණු පසු පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන විවිධාකාරයේ ගැටුම්, කුළල් කා ගැනීම්, පීඩන ආදිය අනන්තවත් අපි සමාජයේ දී දැක ඇත්තෙමු.

කාමය තණ හුළක් හා සමාන ය. ගිනිගත් තණ හුළක් උඩු සුළගට හැරුණු විට වේගයෙන් දැවෙන්නට පටන් ගනී. එසේ ගිනි ගෙන දැවෙන තණහුළ අත නොහැරිය හොත් සිදු වන්නේ කුමක්ද? එය අල්ලාගෙන සිටින තැනැත්තා ද දැවෙන තරමට ගිනි හුළ ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. අත්නොහරින ලද දැල්වුණු තණ හුළකින් අප දැවී පිළිස්සී යන්නේ යම් සේ ද එසේම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් අප ද මානසිකව දූෂිත වී දැවී පිළිස්සී වැනසී යා හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

කාමය අගුරු වළක් හා සමාන ය. ගිනිදලූ නැති, දුම් නැති, රත්වූ ඉතා බිහිසුණු අගුරු වළක් හා සමානය. ගිනි අගුරු වළක ඇති විශේෂ බිහිසුණු බව කුමක්ද? ගිනි දලූ පිටතට නොපෙනුනත්, නොපෙනෙණ භයානක බවක් එවැනි ගිනි අගුරු වළක ඇත. කාමාග්නිය ද එසේය. කාමය නැමැති ගින්න පිටතට නොපෙන්වා සගවා ගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වී අභ්‍යන්තරයෙන් කෙතරම් දැවෙනවා ඇත්ද? කෙතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද? අධික වූ කාමයෙහි ඇලී එය පිටතට නොපෙන්වා සිටීම අලූයට සගවා ගිනි පුපුරු තබා ගන්නවා වැනිය. කුමන හෝ අවස්ථාවක දී මතු වී ඇවිත් එය අලූත් ගිනි ජාලා ජනිතකොට ගින්නක් ඇති කිරීමට සමත් ය. සැගවුණු කාමාග්නිය අතිශයින් භයංකාර ය.

කාමය සිහිනයක් හා සමාන ය. නින්දේදී අපට බොහෝ සිහින පෙනේ. සිහිනෙන් අප දකින මහා මන්දිර, යාන-වාහන, සිහිනෙන් පෙනෙන දිව්‍ය ලෝක ආදියේ කිසිඳු හරයක් නොමැති බවත් ඒවා හුදෙක් සිහින පමණක් බවත් වැටහෙන්නේ උදෑසන අවදිව පියවි සිහියට පිවිසි පසුය. කාමයෙන් අගතියට ගිය අය ජීවත් වන්නේ ද එවැනි සිහින ලෝක තුළය. කාමය නැමැති සිහිනයේ එල්බ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට නොහැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

කාමය සිගා කෑ දෙයක් හා සමානය. කාමය තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලාගත් දෙයක් බඳු යැයි බුදුන් වහන්සේ පෙන්වා වදාළ සේක. අනුන්ගෙන් ඉල්ලාගෙන පරිහරණය කරන දෑ ආපසු ඉල්ලු විගස දිය යුතු ය. ඒවා භාවිත කරන විට අනුන්ගේ යැයි නොසිතා කෙතරම් ආඩම්බරයෙන් ඒවා පරිහරණය කළත් ආපසු ඒවා හිමිකරුවන්ට දිය යුතු ය. අද ඔබට අයත් කිසියම් දෙයක් ඊයේ වෙනත් කෙනෙකුට උරුමව පැවතියා වන්නට පිළිවන. එය හෙට වෙනත් අයෙකු අතට පත්විය හැක. වර්තමානයේ අප සතු කිසිවක් සදාකාලිකව අප සතු නොවන්නේ ය. අධික ඇලීම් සහ බැඳීම්වල තත්ත්වය එසේ ය. එවැනි ඇලීම් නිසා ඇතිවන ආශ්වාදය කවර මොහොතක ගිලිහී ගොස් අප වේදනාවට පත් වේ දැයි කිව නොහැක. එනිසා, කාමය සි`ගා කෑ, තමන්ට කිසිවිටකත් අයිති නැති දෙයක් හා සමානය.


බුදුරජාණන් වහන්සේ කාමය ඵල දැරූ ගසකට නැග ඵල බුදින අයෙකුට උපමා කර ඇත්තේය. ඒ ඇසුරින්, පස්කම් සැපයට ගිජු වූ තැනැත්තා කාමයත් සමගම ඇද වැටී වැනසී යන ආකාරය පැහැදිලි කර ඇත්තේ ය. ඵල දැරූ රුකකට නැග ගත් අයෙකු සීමාවකින් තොරව එහි ඇති ඵල ආහාරයට ගනී. ඒ බව දකින ගසට නැග ගත නොහැකි වූ අය ඊර්ෂ්‍යාවෙන් වියරුව ගස කපා දමයි. ගසෙන් නොබැස්ස තෙමේ ගසත් සමග ම ඇද වැටී විනාශ වන්නේ යම් සේ ද කාමයෙන් අන්ධ වූ තෙමේ කාමයෙන් ම විනාශ වන්නේ ය.

කාමය කඩුවකට සහ මස් කපන කොටයකට සමානය. කඩුවටත් කොටයටත් මැදිවන මස් කැබැල්ල පහසුවෙන් කැපී, තැලී, පොඩි වී යයි. එසේම කාමාග්නියට මැදිවන සියල්ලෝ ද තැලී, පොඩිවී විනාශ වී යන්නාහ. අධික බැඳීම්වලට ගොදුරු වූ පසු ඉතිරිවන්නේ මොනවාද? ඉන් ඉතිරි වන්නේ මිනිසත්කම නොදන්නා බිඳුණු ඇටකටු ය, හිරි-ඔතප් නැති තැළුණු මස් පිඩුය, සංයමයෙන් තොර කැපීගිය නහර වැල් ය, සිතීමේ හැකියාව විනාශ කරන ලද හික්මීමක් නොමැති පොඩිවුණු මොළ කෑලි ය.

කාමය ඉතා තියුණු පිහියකට, තියුණු ආයුධයකට හෝ තියුණු උළකට උපමා කර ඇත. කාමය අනුන් විනාශ කිරීමට යොදා ගන්නා තියුණු ආයුධයක් වැනිය. අධික ආශාව සහ බැඳීම් හේතුවෙන් එකිනෙකා පිල්වලට ඛෙදී අවි අමෝරා ගන්නා ආකාරය ලෝකය දෙස කල්පනාවෙන් බැලීමේ දී අපට පෙනේ. ලොව බලවත් රටවල් ඛනිජ තෙල් ආදී සීමිත සම්පත් අත්පත් කර ගැනීමේ කෑදරකමින්, රටවල් යටත් කර ගැනීමේ අධික ආශාවෙන් බිහිසුනු යුද්ධවලට අවතීර්ණ වන ආකාරය ඉතිහාසය පුරාම විද්‍යාමාන විය. ශාක්‍ය කෝලිය දෙවංශය රෝහිණී නදියේ ජලය ඛෙදා ගැනීමේ යුද්ධයට අවතීර්ණ වන්නට ගියේ බුදුන් ජීවමාන කාලයේ දී ය. කාම බන්ධනයේ බිහිසුනු බව එයයි.

අවසාන වශයෙන් බුදුන් වහන්සේ කාමය සර්ප හිසකට උපමා කරමින් එහි ඇති නිරර්ථකභාවය සහ බිහිසුනුභාවය පෙන්වා දුන් සේක. විෂ ඇත්තේ සර්ප හිසේ ය. අනෙකාට පහර දීමට සැලසුම් කරන්නේත් ඒ සඳහා ඉලක්කය ගන්නේත් හිසෙනි. සර්ප හිස ඒ තරමට ම බිහිසුනු ය. කාමය ද එසේ ය. එකිනෙකා අතර කුළල් කා ගැනීම්, ගැටුම් ආදිය අනවශ්‍ය කාම බන්ධනයන්ගේ ප්‍රතිඵල ය. කාමයෙන් මුලාවූවන් ඇතැම් විට වතු-පිටි, ගේ-දොර ආදී භෞතික වස්තූන්වලට ඇති අධික ආශාවෙන් තම දෙමව්පියන් පවා ඝාතනය කළ ආකාරයේ පුවත් අපි සමාජයේ අසා ඇත්තෙමු. අනියම් ප්‍රේම සම්බන්ධතා ආදිය නිසා මුළාවූවන් ඉන් වියරුව තම අඹු දරුවන් පවා විනාශ කිරීමට සැලසුම් කළ, විනාශ කළ ආකාරයේ සිදුවීම් ද අපි දැක ඇත්තෙමු. කාමාග්නියේ ස්වරූපය එය යි.

අප සියලූ දෙනා විසින් මේ උපමා දහය ඇසුරින් බුදුන් වහන්සේ විසින් කරන ලද විග්‍රහය ඉතා සියුම්ව විමර්ශනශීලීව කල්පනා කළ යුතුව ඇත. අනවශ්‍ය ඇලීම් සහ ගැටීම් නිසා කිසිදා සැනසීමක් උදා වන්නේ නැත. එය ඒකාන්ත දුක, වේදනාව පිණිස ම වන්නේය. විවිධ කාම වස්තූන් කෙරෙහි තදින් ඇලීම නූතන ලෝකයේ ස්වභාවය යි. නූතන වෙළෙඳපොලේ ස්වභාවය ද එයයි. ඉල්ලූමට සරිලන සැපයුමක් බිහි කරන නූතන වෙළෙඳපොළ කාමාග්නියේ උල්පත යි. කාමය අප අගතියට යොමු කරයි, කරවයි. එනිසා, අප ඇලූම් කරන යමක් හිමිවේ ද අහිමි වේ ද ඒ සියලූ හිමි-අහිමි වීම් මධ්‍යස්ථව දරා ගැනීමට අප පුරුදු පුහුණු විය යුතුය. ඒ සියලූ හිමි-අහිමි වීම් සමග ගණුදෙණු කරන්නට පුරුදු පුහුණු විය යුතුය. ඒ කාමයෙන් අප සිතන තරම් ආස්වාදයක් හෝ සතුටක් නොලැඛෙන නිසාය.

එහෙයින්, මේ ලෝකයෙහි ලෞකික වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීත වර්තමාන අනාගත වූ යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක් ආදී කොට ඇති කාමයක් වන්නේද ඒ සියල්ල මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ යැයි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

(මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මජ්ම නිකායේ අන්තර්ගත අලගද්දූපම සූත්‍රය ඇසුරු කෙරිණි)

තරිඳු ධනංජය වීරසිංහ
කථීකාචාර්ය
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Share this: