ක්‍රිකට් තරු ඇගැයෙන සම්මාන රාත්‍රියේ දක්ෂතම ක්‍රීඩකයෙක් නෑ

ක්‍රිකට් තරු ඇගැයෙන සම්මාන රාත්‍රියේ දක්ෂතම ක්‍රීඩකයෙක් නෑ

ගෙවී ගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම දේශීය ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා අගයමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළම සම්මාන⁣යන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරී අතපත්තුට හිමිවූ අතර ඇයට සම්මාන හතරක් හිමිවීම කැපීපෙනුණි. වසරේ එක්දින පිතිකාරිය, වසරේ සෑම අංශයකින්ම දස්කම් දැක්වූ ක්‍රීඩිකාව හා විස්සයි 20 දක්ෂතම පිතිකාරිය ලෙසද චමරී සම්මානයට පාත්‍ර වූවාය. එහෙත් ඇය ඔස්ට්‍රේලියාවේ තරගාවලියකට එක්ව සිටින බැව්න් ඊයේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී නොවූවාය. වසරේ දක්ෂතම ක්‍රීඩකයෙකු මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී නම් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශම් වී තිබිණි. එය ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අතරට භාර කර තිබිණි. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිශ්ශංකට පිරිනැමුණු අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වය ඩේලි මිරර් පුවත්පතේ ෂාමිල් අමීත් මහතාට හා ගුවන් විදුලි විස්තර ප්‍රකාශක කමල් දේශප්‍රිය මහතාට පිරිනැමුණි. මෙම ගාම්භීර සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ වෝටර්ස් එජ් හෝටලයේදී වර්ණවත් ලෙස පැවැත්වීමට කටයුතු යෙදුනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ සමස්ත සම්මාන 45 ක් ප්‍රදානය කෙරුණි. ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33ක් සම්මාන ලබද්දී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17කට ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන පිරිනැමුණි. ඊට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක් ද ඇතුළුව කණ්ඩායම් සම්මාන 10 ක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී පිරිනැමුණි.

කලින් වසරවලදී මෙන්ම මෙරත් දක්ෂතම ජාත්‍යන්තර විනිසුරු හා දේශීය විනිසුරු, වසරේ තරග තීරක තෝරාගත් අතර පිළිවෙලින් කුමාර ධර්මසේන, ලින්ඩල් හැනිබල් හා මනෝජ් මෙන්ඩිස් එම සම්මාන දිනා ගත්හ. මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්දු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු අතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share this: