ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ පල්ලෙගම – ලග්ගල ප්‍රදේශයේ දී හරස් කරමින් කිලෝමීටර් හතරක පමණ දුරින් ප්‍රධාන වේල්ලක් හා අතුරු වේලි දෙකක් ඉදිකිරීම මගින් ගොඩනැගු කළුගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (07) සිදුකෙරේ.
ශ්‍රී ලංකාවේ දැවැන්තම වාරි ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ද්විත්ව ජලාශ ව්‍යාපෘතිය ලෙස හැඳින්වූයේ මොරගහකන්ද ජලාශයට සමගාමී ජලාශය ලෙස කළුගඟ ජලාශයද ඉදිකෙරුණු නිසාය. මොරගහකන්ද සහ කළුගඟ අතර පරතරය කිලෝමීටර් 40 ක් පමණ වන අතර වර්ග කිලෝමීටර් 84 ක ප්‍රදේශයක් පුරා පැතිරෙන කළුගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් දශ ලක්ෂ 248 ක් වේ. මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන එක් ලක්ෂ දහසයදහස් එකසියයකි.
කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000 ක් සඳහා ජලය සැපයීමත් පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000 ක පමණ ඉඩම් ප්‍රමාණයක් සක්‍රියව වගාකිරීමට අවශ්‍ය ජලය සැපයීමත් අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශය වෙතද නිකුත් කිරීම සඳහා කිලෝමීටර් නවයක ඇළ මාර්ගයක් ඉදිකර ඇති අතර එහි කිලෝමීටර් 7.85 ක ප්‍රමාණයක් උමඟක් සහිතව පරිසර හිතකාමි ලෙස නිර්මාණය වෙමින් පවතී.
කාලාන්තරයක සිට ඵලදායී කටයුක්තකට නොගෙන වාර්ෂිකව මහ සයුරට ගලාගිය ඝන මීටර් දසලක්ෂ 818 ක ජල ප්‍රමාණය කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ ඔස්සේ මහකනදරාව දක්වා ගෙන ගොස් පැරණි අඹන්ගඟ, යෝධඇළ හරහා මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජලයට එක්වී ජල ප්‍රාමණය තවත් වර්ධනය වී එම ප්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තවදුරටත් පුළුල් කෙරේ. පැරණි අඹන්ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප්‍රදේශයෙන් ගලාගිය ජල ප්‍රමාණය වයඹ ප්‍රදේශයේ පවුල් 40000කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීම සිදු වේ. පළාත් හතරක් ආවරණය වන සේ එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම ව්‍යාපෘතිය මෙය වේ. මේ ප්‍රදේශයේ ජනතාවට පීඩා එල්ල වූ වකුගඩු රෝග හා අපිරිසිදු ජලය මගින් ඇති වන රෝග පීඩා ආදියෙන් මතු පරපුර රැකගනිමින් පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් මෙම වාරි විප්ලවයෙන් සිදු වේ.
මේ ව්‍යාපෘතියෙන් පිටවන ජලය වාරි ඇළ මාර්ග ඔස්සේ දිශාවලට විහිදීමේදී ප්‍රමුඛතාව දී ඇත්තේ ස්වාභාවික පරිසරය හා වනජීවීන්ගේ අවශ්‍යතා ඉටුවන පරිද්දෙනි. විශේෂයෙන්ම අලි ඇතුන් මාරු වන ස්ථාන සහ ජීවින් විශාල ලෙස ඇති ප්‍රදේශවලදී වාරි ඇළ ඉවුරු තුළට ඇතුළු වී ජලය ඔවුනට භාවිත කළ හැකි සේ ඉදි කර ඇත. ව්‍යාපෘති සංවර්ධන කාර්යයන් හේතුවෙන් ඇති විය හැකි අයහපත් පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා පාරිසරික කළමනාකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයකි. ඒ අතර ජල පෝෂක ප්‍රදේශවල නව වගාවන් හෙක්ටයාර් 2000ක් පමණ ඇති කිරීම, පාශු සංරක්ෂණ කාර්යන් ක්‍රියාත්මක කිරීම, අලිමංකඩ, වනජීවී වාසස්ථාන දියුණු කිරීම, ශාක හා සත්ව සංරක්ෂණ වැඩසටහන් දියුණු කිරීම ද මෙමගින් සිදු කෙරේ.
දශක ගණනාවක සිට කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ මනම්පිටිය, සෝමාවතිය ඇතුළු අවට ප්‍රදේශයන්හි කෘෂිකාර්මික වගාබිම් මෙන්ම වනසතුන්, මනුෂ්‍ය ජීවිත හා දේපළවලට විශාල වශයෙන් හානි කරමින් වසරින් වසර මහත් විනාශයක් සිදුකරන මහ ගංවතුර තර්ජනය මෙල්ල කර එම ජලය මිනිසාගේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ගබඩා කළ හැකි වීම මෙම ව්‍යාපෘතියෙන් පහළ නිම්න ප්‍රදේශයේ ජනතාව ලද සහනය භාග්‍යක් කොට සැලකිය හැකිය.
දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වන මේ කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියෙන් අනාගතයේදී සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂි දියුණුවක්අපේක්ෂා කරන අතර සංචාරක ආකර්ෂණයක් සහිත මහනුවර, සීගිරිය, පොළොන්නරුව, මාදුරුඔය, දඹාන වැනි ප්‍රදේශ සමඟ සෘජුව සම්බන්ධ විය හැකි ලෙස කළුගඟ ජලාශය පිහිටීම නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට ජාත්‍යන්තර වටිනාකමක් ඇතිවනු ඇත.
මේ අතර ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ විශාල දියුණුවක් අපේක්ෂා කරන අතර. වාර්ෂිකව මෙට්‍රික් ටොන් 4700 ඉක්ම වූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික අර්ථිකයට එක්වනු ඇත. මෙරට බිහි වූ බහුකාර්ය ව්‍යාපෘතියක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වෝට් 25 ක විදුලිබල නිෂ්පාදනයක් අත් කර දෙන අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 1545ක් පමණ ජාතික ආර්ථිකයට ඉතිරි වේ.