කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

ජ්‍යෙෂ්ඨතම හා ප්‍රවීණතම මාධ්‍යවේදියකු වන කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය අද (3) දිනට යෙදී ඇත.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

නිරුක්ති විද්‍යාවට අනුව “ගුරුවරයා යනු නොදැනීම නැමැති අන්ධකාරය දුරුකරන්නා” වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේත් විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේත් බොහෝ පිරිසකට නිල නොලත් ගුරුවරයකු වන අපූරු මිනිසෙක් සිටී.

ඔහු නමින් එඞ්වින් ආරියදාස වේ.

එඞ්වින් ආරියදාස යන නම ඇසුණු සැණින් මතකයට නැගෙන රූපකායක් ද වේ. දිගු කලිසමකින් සැරසුණු ඊට උඩින් බුෂ්කෝට් හැඳි ළගන්නාසුළු සිනාවක් සහිත පැසුණු පැහැපත් පෙනුමෙන් යුතු මිනිසෙක් ඒ රූපකායට ඇතුළත් වෙයි. ආරෝපණය කර නොගත් වියත් බවත් සැහැල්ලු ඇවතුම් පැවතුම් රටාවත් නිසැක ලෙසම අවධාරණය කෙරෙන්නේ ඔදවත් බවය. තෙදවත් බවය. ගැඹුරු බවය.

එඞ්වින් ආරියදාස සුවිශේෂී චරිතයක් වන්නේ එහෙයිනි. ජන සමාජයක් තුළ එබඳු ගැඹුරු මංසලකුණක් තැබිය හැකි වන්නේ පෙර පිනත්, වාසනා ගුණ මහිමයත්, ගැඹුරු චින්තනාවේෂයත් සහිත මිනිසකුටම පමණි.

මේ අපූරු මිනිසා ඉතා ළඟින් ඇසුරුකිරීමේ භාග්‍යය මට හිමි වී තිබේ. ඒ ඇසුර ආරම්භ වූයේ මා ලේක්හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිටය.

1966 වසරේදී ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ මම ඉතා කෙටි කලක් ප්‍රවෘත්ති අංශයේ සේවය කළෙමි. අනතුරුව දිනමිණ පුවත්පතේ උප කර්තෘ අංශයට මාරුවීමක් ලැබුණු අතර විදෙස් ප්‍රවෘත්ති පිටුව සංස්කරණය කිරීමේ වගකීම ද පැවරුණි. ඒ වන විට ඔහු දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විය.

එඞ්වින් ආරියදාසයන් හා මා අතර කිට්ටු සබඳතාවක් ලියලා වැඩුණේ එම පසුබිම තුළය.

එඞ්වින් ආරියදාස සූරීන්ට පටබැඳි නමක් විය. “ඇවිදින විශ්වකෝෂය” ඒ පටබැඳි නම විය. ඒකාන්ත වශයෙන්ම ඒ නමට ඔහු සුදුස්සෙක්ම විය. මෙකල මෙන් එකල අන්තර්ජාල පහසුකම් නොවීය. එහෙත් එඞ්වින් ආරියදාස සූරීහු විශ්ව දැනුමේ කිමිදුණහ. අලුතෙන් නිකුත් කෙරෙන සෑම බටහිර සඟරාවක්ම ඉතාම ඉක්මනින් ඔහු අතට පත්විය.

ජාත්‍යන්තර දේශපාලනය මෙන්ම වෙනත් බොහෝ තොරතුරුවලට සංවේදී වූ ඔහු නිරන්තරයෙන් යාවත්කාලීන විය. විදෙස් පිටුව සංස්කරණය කළ මට ඔහුගේ ආභාසය මහත් රුකුලක්ම විය. එඞ්වින් ආරියදාස සූරීන් මට නිල නොලත් ගුරුවරයකු වන්නේ එහෙයිනි. මාධ්‍ය ජීවිතයේ මා මෙතෙක් පැමිණි ගමනේදී ඔහු මට ප්‍රදීපස්ථම්බයක්ම විය.

ඇතැමකුට දැනුම තිබුණ ද එම දැනුම බෙදා හදාගැනීමේ නිර්ලෝභී බව නැත. තවකකුට එම දැනුම අන්‍යයන්ට පහසුවෙන් තෝරාදීමේ හැකියාවක් නැත. එඞ්වින් ආරියදාස සූරීන් වඩාත් වැදගත් වන්නේ ද එහෙයිනි. ඔහු තම දැනුම නිර්ලෝභීව බෙදා හදා ගත්තේය. කවරකු හෝ පැමිණ නොදන්නා යමක් විමසූ විට අසන්නා තුටු පහටු වන ආකාරයේ පිළිතුරක් ඔහුගෙන් ලැබිණි. මාතෘකාව කෙතරම් ගැඹුරු හා සංකීර්ණ වුව ද සැණින් එසැණින් එය තේරුම් ගත හැකි තරමට සරලව සුගමව එය විස්තර කිරීමට ඔහු පාන හපන්කම් අතිවිශිෂ්ටය. නිහතමානී බවින් පිරිපුන් නොවන අයකුට එසේ කළ නොහැකි බව ද සත්‍යයකි.

එඞ්වින් ආරියදාසයන්ගේ විශේෂත්වය වන්නේ කවරකු තමන් වෙත පැමිණිය ද, ඔහුගේ තරාතිරම නොබලා උදව් උපකාර කිරීමට පෙළැඹීමය. එම යහගුණය නිසා එතුමා අමාරුවේ වැටුණු අවස්ථා ද විය. එහෙත් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා සිටීමේ ජීව ගුණය ද එතුමා සතුවිය.

නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතට පා තැබූ දා ඒ අසිරිමත් මොහොත සජීවී රූප රාමු මැවෙන පරිද්දෙන් ඔහු ගෙනා විස්තර කථනය ඔහුගේ දක්ෂතාව කොතෙක් ද යන්න ඔප්පු කළ එක් අවස්ථාවක් පමණී.

එඞ්වින් ආරියදාස සූරීන් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉටුකළ එක් අමරණීය සේවාවක් වන්නේ ජනමාධ්‍ය විශ්වවිද්‍යාලයීය පාඨමාලාවක් බවට පත්කිරීමේ මෙහෙයුමේ ප්‍රමුඛයකු වීමය. ජන සන්නිවේදන අධ්‍යයන අංශයක් හා හා පුරා කියා බිහිවූයේ කැලණිය විශ්වවිද්‍යාලයේය. එහිදී පෙරමුණේ කාර්යභාරයක් ඉටුකළේ ද එඞ්වින් ආරියදාස මහතාය.

එතැන් පටන් එතුමා විශ්වවිද්‍යාල පද්ධතියට අත්‍යවශ්‍ය ගුරුවරයෙක් විය. රටේ කොතැනක ජනමාධ්‍ය පාඨමාලාවක් තිබුණ ද එහි ඔහුගේ දායකත්වය නොවිණි නම් එය ජනමාධ්‍ය පාඨමාලාවක් නොවේ යැයි හැඟෙන තරමේ අඩුපාඩුවක් විය.

ලේක්හවුස් ආයතනයෙන් මා සමුගත් පසු එතුමා සමග වඩාත් මිත්‍රශීලි ඇසුරක් ඇතිවිය. එහෙත් ඒ සියල්ලට ඉහළින් ගුරු ගෞරවය රැඳී තිබේ. එය සදා නොවෙනස් ගෞරවයකි. මෙම කෙටි සටහන තැබෙන්නේ ද ඒ ගුරු ගෞරවය පෙරටුකරගෙනය.

Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>