ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්

ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්

දිවි නැගුම යටතේ සියළු මුදල් වැයකර ඇත්තේ ජනතාවට උදව් කිරීම සඳහා වන බවත්, එය වරදක්නම් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බවත්හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය ,ප.ම බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා ,කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(22)රාත්‍රීයේ  ඉදිරිපත්කළ අතර එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  යහපාලනය වෙනුවට වෛරී පාලනයක් දැන් උදාවී ඇති බවයි.

එසේම ජනතාවාදී පාලනයක් බිහිකිරීම සඳහා කටයුතු කළ යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පළ කළ අදහස් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් ලෙස නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන්ය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන පරික්ෂණවලට සහාය වෙමින් කටඋත්තරයක් ලබාදීමට ඉකුත් 22වැනිදා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගෙන් පැය 8කට ආසන්න කාලයක් කටඋත්තරයක් සටහන් කරගන්නා ලදී.

එසේම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ.රණවක යන මහත්වරුන් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික ගනේපොල මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී මහේස්ත්‍රාත්වරයා මැයි 5වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළ අතර බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටද අවසර ලබාදුන්නේය.

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍යවරයා සමඟින් හිටපු ලේකම් වෛද්‍ය ජයතිලක සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි අත්අඩංගුවට ගනු ලැබු චෝදනාවන් වූයේ ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14කට එක් පවුලකට නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 10,000ක් ලබාදෙන වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ රුපියල් 2,500ක් බැගින් රුපියල් දශලක්ෂ 2,900ක් ලබාදීම, සමෘද්ධි අධිකාරිය ඇතුළු ආයතන 5ක් ඒකාබද්ධවීමෙන් පිහිටවනු ලැබූ ‍දිවිනැගුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමේදී ස්වෙච්ඡාවෙන් විශ්‍රාමගත් සමෘද්ධි නිලධාරින් සහ සේවකයින් 1,067 දෙනෙකුට පාර්ලිමේන්තු පනතක් මගින් අනුමතවූ වන්දි සහ පාරිතෝෂිත මුදල් වශයෙන් රුපියල් දශලක්ෂ 1,700ක මුදලක් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කරන තෙක් දිවි නැගුම අරමුදල් වලින් ගෙවීම, වසර 2015 සමෘද්ධි ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් දශලක්ෂ 23ක් වැය කිරීම යන කරුණු සම්බන්ධයෙනි.

මෙහිදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධිලාභීන්වන පවුල්වලට මෙම ප්‍රතිලාභ ඔවුන්ගේ අතටම ලබාදී ඇති බැවින් කිසිදු මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී නැති බවයි.

එසේම එබැවින් එහි ප්‍රතිලාභ සෘජුවම අදාළ සමෘද්ධි හිමිකම්ලාභී පාර්ශවයන්ට ලැබී ඇති බවත්, යහපාලන ආණ්ඩුව දින 100 වැඩසටහනින් සිය නොහැකියාව පෙන්වාදී ඇති අතර ඉකුත් තෙමස තුළ රටේ කිසිදු දියුණුවක් සිදුවී නැති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

ඉකුත් ජනාධිපති මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු එහි සියළු වගකීම් භාරගනිමින් ශ්‍රිලනිප ජාතික සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු යළි දිවයිනට පෙරළා පැමි‍ණියේ අප්‍රේල් 21වැනිදා පස්වරුවේදීය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඇතුළු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුද බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් 100කට ආසන්න පිරිසක්ද බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් දෙදහසකට ආසන්න පිරිසක්ද එක්වි සිටියහ.

සභාග ආණ්ඩුවේ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ ලලිත් දිසානායක යන මහත්වරුන්ද සිටිනු මෙහිදී දක්නට ලැබිණි.

උපුටාගැනීම අද දෙරණ

Share this: