කළුතර ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති සීමිත ඕවර ක්‍රිකට් තරගයකින් අනතුරුව ඇති වූ ගැටුමකින් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කළුතර තිස්ස ජාතික විද්‍යාලය සහ කළුතර මහා විද්‍යාලය අතර ඉරිදා (අප්‍රේල් 30) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති “13 වැනි මැංගුස් සටන” හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
තරගයේ ජය කළුතර මහා විද්‍යාලයට හිමිව තිබූ අතර, පසුව තරඟය නරඹමින් සිටි කළුතර තිස්ස ජාතික විද්‍යාලයේ පිරිසක් පිටියට පැන කඩුළු රැගෙන යාමට උත්සාහ කිරීමත් සමඟ මෙම ගැටුම හටගත්හ.
එහිදී කළුතර තිස්ස ජාතික විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා තිබුණා.
ඔහු මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හිසට සිදුවූ තුවාල හේතුවෙන් විශේෂ ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.
තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වීමට උත්සාහ කළ පයාගල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ද කිසියම් පුද්ගලයෙකු පහර දී ඇති බව වාර්තා වෙයි.