හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මිරිහාන ප්‍රදේශයේදී පොලිස් විසින් අත්අඩංගුවට ගත් වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වාහනයක් බවට තොරතුරු ලැබී ඇති බවයි.
එහි අංකයද ව්‍යාජ අංකයක් බවට හඳුනාගෙන ඇතැයි හෙතෙම කියා සිටියේ ඊයේ (21) මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින උදය ගම්මන්පිල මහතාට සහය පළකරමින් පැවති මැතිවරණ රැළියකට එක්වෙමිනි.
තවද, පසුගිය සමයේ සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කළ පිරිස් වෙතින්, විශේෂයෙන්ම සෝභිත හිමියන්ගෙන් මේවාට විරුද්ධව කතා කරනවාදැයි විමසා සිටින බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ, සිවිල් සමාජ සංවිධාන වෙතින් ‘යහපාලනය යනු මේකදැයි’ ප්‍රශ්න කරන බවයි.
එදා රටේ ආරක්ෂාව ස්ථාවර කරන විට ‘යුදකාමීන්’ලෙස චෝදනා එල්ලවුණු බවත්, එසේ වුවද රටක සංවර්ධනය, ආර්ථිකය හෝ සංහිඳියාවේ වුවද පදනම වන්නේ රටේ ආරක්ෂාව බව මෙහි දී ඔහු සිහිපත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ආණ්ඩුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දී ඇත්තේ පහත් මට්ටමක ප්‍රමුඛත්වයක් බවයි.