එජාපයෙන් නෙරපීමට එරෙහිව තිස්සගෙන් පෙත්සමක්

එජාපයෙන් නෙරපීමට එරෙහිව තිස්සගෙන් පෙත්සමක්

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ එහි බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙළේය.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීම නිසා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමෙන් හෝ එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වළක්වන නියෝගයක් ද නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා, මහ‍ලේකම් කබීර් හෂීම් මහතා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට ඇත.

තමන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් ජනාධිපතිවරණයට තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එම තනතුරින් 2014 දෙසැම්බර් 08 දින ඉවත් වූ බව ද පෙත්සම්කරු පවසයි.

පසුව දෙසැම්බර් මස 11 වැනිදා සෞඛ්‍ය ඇමැති ලෙස පත් වූ බව ද තමා සහාය දුන් අපේක්ෂකයා පරාද වීම නිසා එම තනතුරු අහෝසි වූ බව ද පෙත්සම්කරු කියයි. පසුව ව්‍යාජ ලියවිල්ලක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඉකුත් පෙබරවාරි මස 02 දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් වූ තමන් එකොළොස් වැනිදා ඇප මත මුදාහල බව ද පෙත්සම්කරු කියයි.

තමා රිමාන්ඩ් භාරයේ සිටියදී පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ බලධාරීන් තීරණය කළ බව ද, ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් නොවූ බව ද පෙත්සම්කරු පවසයි.

නිසි ලෙස කරුණු දැක්වීමට අවස්ථාව නොදී තමන් පක්ෂයෙන් ඉවත් කිරීම නීති විරෝධී සහ අසාධාරණ බව පෙත්සම්කරු පවසයි. එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් පෙබරවාරි මස 08 දින නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share this: