උසාවියේ ලොක්කෙකුගෙන් මෙහෙකාරියට ගුටි  – මෙහෙකාරිය පොලිස් රැකවල් මැද රෝහලේ

උසාවියේ ලොක්කෙකුගෙන් මෙහෙකාරියට ගුටි – මෙහෙකාරිය පොලිස් රැකවල් මැද රෝහලේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තලයේ නිලයක් දරණ පුද්ගලයෙකුගේ නිවසේ සේවයට පැමිණ, සේවය කරන අතර තුර දී, එම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ බව කියන කාන්තාවක පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අනුව තමාට සිදුවූ පහරදීම හා හිරිහැර ගැන ඇය ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලීසියට පැමිණ, පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

බියගම, සියඹලාපේ පදිංචිකාරියක වන ඇය එකී නිලධාරියාගේ නිවසේ සේවයට පැමිණ ඇත්තේ පසුගිය 15 වැනිදා වන අතර, එතැන් සිට තමන්ට මන්ද මානසික දරුවෙකු බලා ගැනීමට බාරවූ බවත්, එම දරුවාද තමන්ට නිතර නිතර පහරදෙන බවත්, ඒ දෙස බලා සිටින නිලධාරියාද පිස්තෝලයකින් තමන්ට පහරදෙන බවත්, ඇය ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

එසේම පහරදීම නිසා තමන්ගේ දකුණු අතේ උරහිස ප්‍රදේශය ගෙඩී ගැසී ඇති බවද නිවසට පැමිණි දා සිට නිවසින් එළියට යාමට නොදෙන බවද, පපුව ප්‍රදේශයේ ද සිරීම් තුවාල ඇති බව පැමිණිල්ල මඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද ඒ අනූව මෙම සිද්ධිය ගැන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර මේ ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණ වෛද්‍ය පෝරමයක් යටතේ මේවන විට එම කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ යටතේ ආරක්ෂාව ලබන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

එසේම මෙම සිද්ධිය ගැන එම නිවසේ සිටින බව කියන තවත් මෙහෙකාරියකගෙන් හෙට ප්‍රකාශයක් ගැනීමට නියමිත බවද, එහි සිටින සිවිල් ආරක්ෂක නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කීවේය.

Share this: