උමාඔය ව්‍යාපෘතිය සංවර්ධනයට සහ ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක්

උමාඔය ව්‍යාපෘතිය සංවර්ධනයට සහ ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක්

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රටේ සංවර්ධනයට සහ ජාතික ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් සපයන සුවිශේෂි ව්‍යාපෘතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අයත් ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවලට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිමකළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) සිදුකෙරුණු අතර වෙල්ලස්සේ උමාඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් අරඹමින් මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

මෙහිදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රටේ සංවර්ධනයට සහ ජාතික ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් සපයන සුවිශේෂි ව්‍යාපෘතියක් බවත් එහි වැඩනිම කරමින් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන බවත්ය.

2011 වසරේ ව්‍යාපෘතියආරම්භ කළ ද එය ක්‍රියාවට නැංවීමේ දී මතුවු සියලු අභියෝගවලට සහ බාධාවන්වට මුහුණදීමට සිදුවූයේ වත්මන් රජයට බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මතුවු විවිධ අභියෝග සහ දුෂ්කරතා හමුවේ කැපවීම් සිදුකරමින් මෙම ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දායක වූ ඌවේ සමස්ත ජනතාවට සිය කෘතවේදිත්වය පළකිරීමට ද කටයුතු කෙළේය.

එමෙන්ම මේ සඳහා දායකවූ ඉරාන රජය වෙත ද ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා සිය විශේෂ ස්තුතිය පිරිනැමීය.

උමාඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇතිනොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳිඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4,500කට යල සහ මහකන්නයට අවශ්‍ය ජලය සැපයිම හා දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටයාර් 1,500කට යල කන්නය වගා කිරීමට ජලය සැපයීමත්, ව්‍යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙගාවොට් 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලිබලාගාරය මඟින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

ඊට අමතරව ව්‍යාපෘති ප්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර, ඩයරබා හා පුහුල් පොළ ඉදිකෙරුණු ජලාශ මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ ඇටැම්පිටිය ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීම ද ඊට ඇතුළත් වේ.

මෙමඟින් ප්‍රදේශයේ වැව් 96ක් වාරි ජලයෙන් පෝෂණය කෙරන අතර පශු සම්පත් හා මත්ස්‍ය සම්පත් සංවර්ධනය, නව රැකියා අවස්ථා උත්පාදනය, නූතන තාක්ෂණික දැනුම ශිල්පීය ක්‍රම අනුගත කර ගැනීම ව්‍යාපෘතියේ සෙසු ප්‍රතිලාභවෙයි. ඉරාන රජය සහ ශ්‍රී ලංකා රජය එක්ව රුපියල් කෝටි දසදහසකට අධික මුදලක් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබේ. උමාඔය හරහා පුහුල් පොල දී මීටර් 35ක් උසැති රෝලර් සම්පීඩිත කොන්ක්‍රිට් වේල්ලක් සහිතව ඉදිකෙරුණු පුහුල්පොල ජලාශයේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් නිමකර තිබෙන අතර එම ජලාශයේ ජලය ඩයරබා ජලාශය වෙත හැරවීමේ සමාරම්ය අද ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඉන්අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.මෙම බලාගාරය මඟින් මෙගවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේ දී සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ. හදපානගල වැවෙහි ධාරිතාව ඝන මීටර් මිලියන 6.5සිට ඝන මීටර් මිලියන 14ක් දක්වා ඉහළ නංවමින් ඉදිකෙරුණු හදපානගල ජලාශය ජනතා අයිතියට පත්කිරීම සහ එහි රන්දියවර නිකුත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කිරිදිඔය අතු ගංගාවක් වන අලිකොටආර හරහා ඉදිකෙරුණු ඝන මීටර් මිලියන 6.5ක් වන අලිකොටආර ජලාශය ජනතා අයිතියට පත්කිරීම හා එහි රන්දියවර මුදාහැරීමේ අවස්ථාවට අනතුරුව ජනාධිපතිතුමා සහභාගිවිය.

රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Share this: