ඉන්දිය අගමැති මෝදි සහ ජනපති මෛත්‍රී අතර හමුව අද

ඉන්දිය අගමැති මෝදි සහ ජනපති මෛත්‍රී අතර හමුව අද

සිව් දින ඉන්දිය සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව ඇත.

එහිදී විනාඩි 45ක විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහිදී දෙරට අතර ඇති ධීවර ප්‍රශ්න සහ අත්අඩංගුවේ සිටින ධීවරයින් නිදහස් කිරීම උතුරේ පුනරුත්ථාපන කටයුතු මෙන්ම තවත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

තවද ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට එහිදී කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි මහතා සමගද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හා තවත් දේශපාලන පක්ෂ නායකයන් සහ ප්‍රභූවරුන් රැසක්ද හමුවීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා ලෝකය පුරා ව්‍යාප්ත වුණු කර්මාන්තවලට හිමිකම් කියන ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන් රැසක්ද හමුවන අතර ඔවුන් ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම එම සාකච්ඡාවල අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවි‍ලේ ආගමික වතාවත්වල නිරත වීමටද නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

සාමාන්‍ය කාලසටහනට අනුව අද දහවල් 2.30ට ගුවන්ගත වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 195මගී ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්ව යාම විශේෂත්වයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදේශ සංචාරය මෙයයි.

තවද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් යන මහත්වරුන් එක්වි තිබෙ.

Share this: