ඉකුත් වසර පහේ දී ස්වාධීන අධිකරණ පද්ධතියක් ගොඩනැඟුවා

ඉකුත් වසර පහේ දී ස්වාධීන අධිකරණ පද්ධතියක් ගොඩනැඟුවා

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවීගිය වසර පහේ දී ගොඩනඟා දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (5) එක් වෙමිනි.

නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැය කර තිබේ.

මහාධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, අනෙකුත් කාර්යාල පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතව මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර එහි ඉදිකිරීම් සඳහා 2017 පෙබරවාරි 25 වන දින ජනාධිපතිවරයා අතින් මුල් ගල් තැබිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරු ව පැවැති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ව්වේචන සහ අපවාද කොතෙක් එල්ලවුව ද තමා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු කර තිබෙන බවයි.

විධායක ජනාධිපතිධූරය ආරම්භ වූදා සිටම මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයකුට ම අධිකරණයට බලපෑම් කිරීම සහ ඇඟිලිගැසීම පිළිබඳ චෝදනා එල්ලවී ඇති අතර තම පාලන කාලයේ එවන් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බව පැවසෙූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටු බවයි. මෙරට අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම රටේ ජනතාව ද ලැබූ විශිෂ්ට වරප්‍රසාදයක් ලෙස සලකන බවයි. ඇමැතිනී තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share this: