ඇවන්ට්ගාඞ් නඩුවෙන් ගෝඨා ඇතුළු 8 දෙනා නිදහස්

ඇවන්ට්ගාඞ් නඩුවෙන් ගෝඨා ඇතුළු 8 දෙනා නිදහස්

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඞ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා 19 යෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළාය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබූ හෙයින් සැකකරුවන් නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. එමෙන්ම නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් සැකකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බවද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පවසා සිටියාය.

එහිදී කොළඹ මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර සිටියේ මෙම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති බවය.

එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව නිදහස් කිරීමට තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙසය. නමුත් මහෙස්ත‍්‍රාත්වරිය පවසා සිටියේ සැකකාරියට දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් ඇය නිදහස් කරනු ලැබුවද, නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙසය.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් දුන් ලිඛිත අනුමැතියට අදාළ පිටපත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහෙස්ත‍්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

නමුත් එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප‍්‍රතිශෝධන පෙත්සමද මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන්ව සියලූ චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය මහතා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එම නඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි.

Share this: