දැරියක් වැඩිවියට පත්වීමේ පී්‍රතිය සමරමින් ඇඹිලිපිටියේ පැවති සාදයකට කඩා වැදී එල්ල කළාවූ පොලිස් පහරදීම අසූ පන්දහසක් පමණ වූ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙක් හැරුණු කොට සමස්ත
පොලිස් ප්‍රජාවම හෙළා දකින්නේ පිළිකුලෙනි. බලය අයුතු ලෙස භාවිත කරමින් එකී ප්‍රහාරයට ඇඹිලිපිටිය පොලීසියේ සමස්ත නිලධාරීන්ව මෙහෙයවූවන්ට දැඩි දඬුවමක් දිය යුතු බව ඒ සෑම නිලධාරියෙකුගේම අදහසය. මහජනතාවගේ බදු මුදලින් යැපෙන මහජනතාවට ආරක්ෂාව දිය යුතු පොලීසිය නීතිය අවනීතියක් කරගෙන මහජනතාවට පාතාලයේ මැරයන් ලෙස පහර දෙයි නම් ඒ අයට එරෙහිව විනයානුකූල පියවර ගතයුතු බව පොලිස් නිලධාරීහුම පවසති.
එහෙත් එකී ප්‍රහාරය සාධාරණී කරන්නට වෙහෙසෙන්නන්ද නැතුවා නොවේ. ඒ පෙර සඳහන් කළා වූ ඉහළ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනාය. ඒ එම නිලධාරීන්ගේ සුවච කීකරු ගෝලයන් බව කියන නිලධාරීන් කිහිප දෙනෙක් මෙකී පොලිස් මැර ප්‍රහාරය මෙහෙයවා ඇති බවට චෝදනා නැගෙන බැවිණි. එම නිලධාරීන් කිහිප දෙනා බේරාගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනා ගන්නා වෙහෙස අපමණ බව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීහුම පවසති.
එම පොලිස් පහරදීම සාධාරණීකරණය කරමින් ප්‍රහාරයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් චෝදනාවෙන් බේරාගන්නට කරන්නට හැකි සෑම උත්සාහයකම එකී පොලිස් බලධාරීන් නිරතවන බවද පොලීසියේ අභ්‍යන්තරයේ තොරතුරු අනාවරණය කරන කාරණාවකි.
එහි පළමු පියවර වන්නේ පොලීසිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කළ නිල ප්‍රකාශයන්ය. එකී නිල ප්‍රකාශයන්ට අනුව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට එකී සාදයේ ඝෝෂාව වැඩි බවට දුරකථන ඇමතුම් තුනක්ම ලැබි ඇත. එසේම සහකාර පොලිස් අධිකාරීවරයාටත් ඇඹිලිපිටිය පොලීසියටත් තවත් දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි තිබේ. පොලීසිය ඒ අනුව එම ඝෝෂාව අඩු කරගන්නා ලෙස දැනුම් දීමට එහි ගිය විට සාදයේ සිටි අය නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට පහරදී එක් නිලධාරියෙක්ව සාදය පැවැති ගොඩනැගිල්ලෙහි ඉහළ මහලට පහරදෙමින් රැගෙන ගොස් සිරකරගෙන සිට ඇත. ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී එම සාදය පැවති ස්ථානයට එන්නේ සිරකරගෙන සිටි නිලධාරියාව බේරාගන්නටය. පොලීසිය යන විටත් ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේ එකී නිලධාරියාව සිරකරගෙන කණ්ඩායමක් වට කරගෙන පහරදෙමින් සිටි බවත් එහිදී එම පිරිස ඔහුව බේරාගැනීමට ගිය නිලධාරීන්ටද පහර දුන්නා මිස පොලීසිය පහරදෙන්නට ගොස් නැත.
පොලීසියේ මෙම නිල ප්‍රකාශයන් මේ වන විට පත්ව ඇත්තේ හුදු ප්‍රබන්ධයක් බවටය. තවදුරටත් මෙම ප්‍රකාශයන් වලංගු දැයි ඇත්තේ ගැටලුවකි. ඒ එකී ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට කෙරෙන මූලික විමර්ශනයන්ගෙන් පොලීසියේ නිල ප්‍රකාශයන්ගෙන් කියැවෙන ආකාරයේ දුරකථන ඇමතුම් සැබෑ ලෙසම ලැබි තිබුණේ දැයි ප්‍රශ්නගත තත්ත්වයක් පැන නැගී තිබෙන බැවිණි.
alt
පොලිස් අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇඹිලිපිටිය සම්බන්ධයෙන් පළමු දුරකථන ඇමතුම ලැබෙන්නේ 04 වෙනිදා මධ්‍යම රාත්‍රිය පහුවී විනාඩි 33 කට පමණ පසුවය. එම පණිවුඩයෙන් කියැවෙන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ආසන්නයේ ඇති දර්ශන සැලුන් එක අසල ගැටුමක් පවතින බවය. ඊට විනාඩියකට පසු නැවතත් එම ස්ථානයේ ගැටුමක් ඇති බවට ඇමතුමක් 119ට ලැබි ඇත. තුන්වැනි ඇමතුම ලැබෙන්නේ මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 56කට පසුවය. එකී ඇමතුමෙන් කියැවෙන්නේ ඇඹිලිපිටිය නව නගරය පාරේ පාලම පසුකරන විට ඇති නේෂන් ෆයිනෑන්ස් ගොඩනැගිල්ලෙහි සිටින පිරිසකට අමානුෂික ලෙස පහර දෙන බවය.
මේ අනුව පෙනී යන්නේ පොලීසියේ නිල ප්‍රකාශයන්ගෙන් කියැවෙන ආකාරයේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට සාදය පැවැති ස්ථානයේ අධික ඝෝෂාවක් ඇති බවට ඇමතුම් ලැබි නැති බවය. මුල් ඇමතුම් දෙකෙන්ම කියැවෙන්නේ දර්ශන සැලුන් අසල ගැටුමක් ඇති බව මිස සාදයේ ගැටුමක් ඇති බව නොවේ. දර්ශන සැලුන් සහ සාදය පැවැති ස්ථානය ඇත්තේද ආසන්නයේ නොවේ. තුන්වැනි ඇමතුමෙන් කියැවෙන්නේ සාදයට පහරදීමක් ගැනය. විමර්ශනවලින් අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව එම ඇමතුම දුන් පුද්ගලයා ඌරුබොක්ක ප්‍රදේශයේ අයෙකි. එම පුද්ගලයාගේ දරුවෝ ඇඹිලිපිටියේ නේවාසිකව අධ්‍යාපනය ලබති. ඒ දරුවන් නවාතැන් ගෙන සිටින්නේ සාදය පැවැති ස්ථානයට ආසන්න තැනකය. සාදයේ සංගීත නාද නතරවී පොලීසිය එහි කඩා වැදී පහරදෙන විට එය දුටු එම දරුවන් ඒ ගැන කියන්නේ ඌරුබොක්කේ සිටින සිය පියාටය. එම පියා ඒ ගැන 119 හදිසි ඇමතුම් අංශයට ඒ ගැන කියන්නේ තම දරුවන්ටද පොලීසියෙන් අනතුරක් වෙතැයි බිය වීය. ඒ අනුවද පෙනී යන්නේ පොලීසියේ නිල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පොලීසිය එල්ලකළාවූ මැර ප්‍රහාරය සාධාරණීකරණය කරන්නට උත්සාහ දැරීමක් බවය.
ඒ බව වඩාත් සැකයට තුඩු දෙන්නේ සාදයේ ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය වැඩි බවට ඇඹිලිපිටිය පොලීසියට ලැබුණේ යැයි කියන දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කවුරුන් දැයි අනාවරණය වීමත් සමගිනි. පොලිස් තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට අනුව ඒ ඇමතුම දුන්නේ යැයි සඳහන් වන්නේ සාදයේ ඝෝෂාව වැඩි බවට කියන්නට මුලින්ම සාදය පැවැති ස්ථානයට ගොස් ගැටුමක් ඇතිකර ගත් නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙක්ගේ ජංගම දුරකථනයකිනි. එම ඇමතුම දුන්නේ යැයි සඳහන් වන්නේ පොලීසිය සාදයට කඩා වැදී පහරදීමට මොහොතකට පෙරය. පොලීසිය එහි කඩා වැදී සාදයේ සිටි අයට අමානුෂික ලෙස පහර දෙන්නේ එම ඇමතුමෙන් පසුවය.
පොලීසිය සාදය පැවැති ස්ථානයට යන්නේ එහි ඝෝෂාව වැඩි බවට ජනතාවගෙන් ලද පැමිණිලිවලට අනුව බව යැයි කියා එහි යාම සාධාරණීකරණය කරන්නට පොලීසිය කොතරම් උත්සාහ ගත්තද තවමත් විමර්ශනවලින් ඒ බවක් අනාවරණය වී ඇති බවක් පෙනෙන්නේ නැත. එසේම මෙම සාදය පැවැති ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ නගරයේය. එහි වැඩි හරියක් ඇත්තේ වෙළෙඳ ස්ථානය. නිවාස ඇත්තේ එකක් දෙකක් පමණි. ඒ කිසිදු නිවසකින් මෙම සාදයට එරෙහිව දුරකථන ඇමතුමක් පොලීසියට දුන් බවක්ද අනාවරණය වන්නේ නැත.
මෙහිදී පොලීසිය සාදය සම්බන්ධයෙන් තවත් චෝදනාවක්ද එල්ල කරයි. එනම් සාදය රසවත් කරන්නට යොදා ගත් සංගීත කණ්ඩායම ශබ්ද විකාශන බලපත්‍ර ගෙන නොතිබුණු බවය. මේ තුළින්ද පොලීසිය උත්සාහ දරන්නේ සාදය නීති විරෝධී බව කියන්නට මිස තමන්ගේ නිලධාරීන් අතින් යම් වැරැද්දක් වී ඇති බැවින් ජනතාවගෙන් සමාව ඉල්ලන්නට නොවේ. රටේ දිනකට දහස් ගණනක් සාද හෝටල්වල මෙන්ම නිවෙස්වල පැවැත්වේ. ඒ සෑම සාදයකම පාහේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරයි. ඒ පොලීසියෙන් බලපත්‍ර්‍ර ගෙන නොවේ. රටේ පැවැත්වෙන සෑම සාදයකටම ශබ්ද විකාශන බලපත්‍ර ගන්නට ජනතාව පොලීසියට ගියහොත් පොලීසියට ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කරමින් සිටිනවා වෙනුවට වෙන කරන්නට වැඩක් ඉතිරි වන්නේ නැත. මෙහෙම ගියහොත් නිවසේ ඇති රේඩියෝව දැමීමටත් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයක් ගන්නට යැයි පොලීසිය කියනු ඇත.
ඇඹිලිපිටියේ සාදය පැවැති ස්ථානයට පොලීසිය කඩාවැදීමෙන් පසු පොලිස් පහරදීම් හමුවේ තරුණයෙක් ඉහළ මහලකින් බිමට වැටී මිය යාම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ යම් විභාගයක් පැවැත්වෙන බැවින් එකී මරණය සම්බන්ධයෙන් අප කිසිවක් සටහන් තබන්නට යන්නේ නැත. එය අනතුරකින් සිදුවූවක්ද එසේත් නැතිනම් මිනිස් ඝාතනයක්ද යන්න අධිකරණය තීරණය කරනු ඇත. එහෙත් ඔහුගේ මරණය සිදුවන්නේ පොලීසිය එහි කඩාවැදීම හේතුවෙන් බව මෙහිදී අමතක නොකළ යුතුය.
alt
පොලීසියේ නිල ප්‍රකාශයන්ට අනුව කියැවෙන්නේ ඝෝෂාව අඩු කරන්නැයි කියන්නට ගිය විට එහි සිටියවුන් පොලීසියට පහර දුන් බවය. පොලීසියේ නිලධාරීන්ව ඒ අය සිරකරගෙන සිටි බවය. සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමක් සාදය පැවැති ගොඩනැගිල්ලට ඇතුළු වන්නේ් ඒ නිලධාරීන්ව බේරාගන්නට බවය. ඒ යන විටත් පොලිස් නිලධාරියාට පහර දෙමින් සිටි බවත් ඒ අය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමටද පහර දුන් බවත් කියන්නට විය.
සාදයේ ඝෝෂාවක් ඇති බවට මහජනතාව විසින් පොලීසියට දුන් බව කියන දුරකථන ඇමතුම සැබෑ ලෙසම මහජනතාව දුන් එකක් නොවන බව මේ වන විට මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. වෙන කුමක් හෝ හේතුවක් මත ඇඹිලිපිටිය පොලීසියේ ජංගම මුර සංචාරක රථයේ නැගී නිල ඇඳුමින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් සාදය පැවැති ස්ථානය වෙත ගොස් ඇති බව තහවුරු වී හමාරය. සැරයන්වරයෙක්, කොස්තාපල්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්ගෙන් එම කණ්ඩායම සමන්විතය. වැඩිවියට පත්වූ දැරියගේ පියා වන මෙන්ඩිස්ගේ හොඳම යාළුවෙකු වන පොලිස් නිලධාරියෙකුද ඒ අය අතර සිටීම විශේෂිතය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් කෙරෙන මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එදින රාත්‍රී 10.30ට පමණ සංගීත කණ්ඩායමට ශබ්දය අඩු කරන ලෙස සාදයේ සංවිධායකයන්ගෙන් දැනුම් දීමක් ලැබි ඇති බවය. රාත්‍රී 12.10ට පමණ උපදෙස් ලැබෙන්නේ සංගීතය නතර කරන ලෙසය. එතෙක් ගැටුමක් හෝ කලහකාරී කිසිදු සිදුවීමක් සාදය පැවැති ස්ථානයේ සිදුවී නැත. පහරදීම සිදුව ඇත්තේ සංගීත කණ්ඩායම සිය භාණ්ඩ අස්පස් කරගෙන ගොඩනැගිල්ලෙන් පිටතට ගිය පසුවය.
පොලිස් නිලධාරියෙක්ව සාදය පැවැති ගොඩනැගිල්ලෙහි සිරකරගෙන පහර දුන් බව පොලීසිය නිල වශයෙන් ප්‍රකාශ කළද දැන් අනාවරණය වෙමින් ඇත්තේ කිසිදු පොලිස් නිලධාරියෙක්ව සාදය පැවැති ගොඩනැගිල්ලෙහි සිරකරගෙන සිට නැති බවය. සාදයේ සංගීතයේ ශබ්දය වැඩි බව කියන්නට එහි පැමිණි පොලිස් නිලධාරීන් සිව් දෙනා ජංගම පොලිස් රථය මාර්ගයේ පැත්තක නතර කරගෙන සිට ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ බව සනාථ කෙරෙන සාක්ෂි පවා ලැබි ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
සාදයේ සිටි අයගෙන් චෝදනා එල්ල වන්නේ එම පොලිස් නිලධාරීන් එහි පැමිණ මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා සිටි බවත් එය නොදීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් ආරවුලකට මුලපිරුණු බවය. සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රමුඛ සිවිල් ඇඳුමින් සැරසුණූ පොලිස් කණ්ඩායමක් එහි කඩා වැදී අමානුෂික ලෙස සාදයේ සිටි පිරිසට පහර දෙමින් වීදුරු ජනේල් ඇතුළු සියලු වටිනා දේවල් කුඩුපට්ටම් කර යකා නටන්නේ ඉන් අනතුරුවය.
ගොඩනැගිල්ලෙන් බිමට වැටීමෙන් මියගිය තරුණයාගේ බිරිඳ නම් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් තම සැමියාව ගොඩනැගිල්ලෙන් පහළට තල්ලු කළ බවය. එකී මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී පොලීසිය විසින් ඉදිරිපත් වුණූ සාක්ෂිකරුවෙක් සඳහන් කර තිබුණේ මියගිය පුද්ගලයා කිහිපවරක්ම බිමට උත්සාහ දරා එකවරම ඔහු බිමට පැන්න බවය.
මේ අතර පොලිස් විමර්ශකයන් ඇඹිලිපිටිය පොලීසියේ සියලුම සටහන් පොත් සිය භාරයට ගෙන ඇත්තේ එදින රාත්‍රියේ අවි ආයුධ ගැනීම් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තබා ඇති සටහන්වල ඇති ගැටලු තත්ත්වයක් හේතුවෙනි. සටහන් වෙනස් කිරීමක් පවා බැලූ බැල්මට පෙනී ගොස් ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සාදය පැවැති ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් ටී 56 අවියකින් වෙඩි දෙකක් තබා ඇති බවටද විමර්ශකයන්ට තොරතුරු ලැබි ඇත. එහෙත් එහි හිස් පතොරම් කොපු හමුවූ බවක් අනාවරණය වන්නේ නැත. වෙඩි තැබූ අවිය හඳුනාගෙන ඇති බවක්ද දැනගන්නට නැත. ගිනිඅවි මාරුවීමක් සිදුවී ඇති බවට ඇතිවී ඇති සැකයක් හේතුවෙන් ඊට අදාළ ලියැවිලිවලට මුද්‍රා තබා ඇති බවද කියති.
මතෛක් කර ඇති මූලික විමර්ශන වලින් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ පොලීසිය සිය බලය අයුතු ලෙස භාවිත කරමින් මැර ක්‍රියාවක නිරතව ඇති බවකි. සාදය පැවැති ස්ථානයට කඩා වැදී පහරදීමට තරම් සිදුවීමක් වී නැති බවද පෙනී ගොස් තිබේ. සංගීත ශබ්දය වැඩි බව කුමක් හෝ හේතුවක් මත දැනුම් දීමට ගිය නිලධාරීන් හා සාදයේ සංවිධායකයන් වන නිවෙස් හිමියන් අතර ආරවුලක් ඇතිවී එහිදී පොලිස් නිලධාරීන්ට මහා මාර්ගයේදී පහරදීමක් වී තිබෙන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම පහරදීම සම්බන්ධයෙන් එකී නිලධාරීන්ගේ පැමිණිලි සටහන් කරගනිමින් ඔවුන්ට පහර දුන් අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනෑතරම් අවකාශ තිබුණත් පොලීසිය ඒ වෙනුවට මැරයන් ලෙස ක්‍රියා කර ඇති බවද විමර්ශනවලින් පෙනී යමින් ඇති බව පොලිස් තොරතුරුම අනාවරණය කළේය.
එතරම් විමර්ශන තොරතුරු තිබියදීත් පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් උත්සාහ දරමින් සිටින්නේ එකී ප්‍රහාරයට වගකිව යුතු නිලධාරීන් රැකගනිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නට බවට පොලීසිය තුළින්ම චෝදනාවක් නැගේ. කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට පාසල් සිසුවෙක් සහ එක්දරු පියෙක් අත්අඩංගුවට ගෙන දින ගණනාවක් නීති විරෝධීව සිරකරගෙන පහර දුන් බව විමර්ශනයකින් පවා තහවුරු වූ කොටදෙණියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා පවා තවමත් කොටදෙණියාවේ ස්ථානාධිපතිවරයාව සිටිනා සේ ඉදිරියේදී ඇඹිලිපිටිය ප්‍රහාරයට සම්බන්ධ නිලධාරීන්ද ඇඹිලිපිටියෙන්ම නැවත දැක්කද ඒ ගැන පුදුමවන්නට හේතුවක් නැත. ඒ ලංකාවේ පොලීසියේ හැටිය.
ඡායාරූප : පරාක්‍රම ගුණසේකර
ගයාන් කුමාර වීරසිංහ