ඇමැති ප‍්‍රසන්න ගිය ජීප් රියේ සීදුවේදී බවුසරයක් ගැටේ

ඇමැති ප‍්‍රසන්න ගිය ජීප් රියේ සීදුවේදී බවුසරයක් ගැටේ

කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් ජීප් රථය ඊයේ (24 දා) කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේදී බවුසරයක ගැටී සිදුවූ අනතුරකින් ජීප් රථයට දැඩි අලාභහානි සිදුවී ඇතත් ඇමැතිවරයාට හෝ රථයේ සිටි ඔහුගේ දියණියට අනතුරක් සිදුවී නැත.

ඇමැතිවරයා සිය දියණිය සමග මීරිගම ප‍්‍රදේශයේ ජනහමුවක් සඳහා ජීප් රථයෙන් ඊයේ (24 දා) පෙරවරු 10.30 ට පමණ ගොස් සීදුව පිවිසුමෙන් මුදල් ගෙවා පිටව යෑමට සූදානමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසර් රථයක් වාහන දෙකකද ගැටී අනතුරුව ඇමැතිවරයා ගමන්ගත් වාහනයේද ගැටී මීටර් කීපයක් ඉදිරියට ගොස් නැවතී ඇත.

අනතුරෙන් කිසිවකුත් තුවාල ලබා නැත. අනතුරු පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී ඇමැතිවරයා මෙසේ කීය.

මම ඊයේ මීරිගම ප‍්‍රදේශයේ රැුස්වීමක් සඳහා යෑමට පිටත් වුණා. මා සමග දියණියත් පැමිණියා. ඇය පිටුපස ආසනයේ සිටියදී මම රියැදුරා සමග ඉදිරි අසුන්වල සිටියා.

අපට ඉදිරියෙන් ගිය රථය සීදුව පිටවුමෙන් මුදල් ගෙවා පිටව යෑමට නියමිතව සිටියදී ඊට පිටුපසින් අපේ රථය නවතාගෙන සිටියා.

එවිට එකවර විශාල ශබ්දයක් සමග බවුසර් රථයක් අපි පිටුපසින් තිබූ වාහන දෙකද හප්පාගෙන අපි සිටි වාහනයේද හැපුණා. මට හිතා ගන්න බැරිවුණා බවුසර් රථය එකවරක් හැපී අපි ඉදිරියට යනවිට එම බවුසර් රථය මාර්ගයේ වැටේ වැදී නැවත අපේ වාහනයේ හැපුණා.

බවුසරයේ තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා මේ අනතුර සිදුවුණත් බවුසරයේ රියැදුරුගේ දක්‍ෂතාව නිසා අපේ ජීවිතවලට අනතුරක් නොවූ බවත් කියන්න ඕනෑ. අනතුර පිළිබඳ සී.සී.ටී.වී. දර්ශන දකිනකොට තමයි අනතුරේ භයානකකම දැක්කේ. මට ඇමැතිකම ලැබුණට අමාත්‍යාංශයේ වැඩ භාරගන්න ඉන්නේ හෙටයි. (25 දා).

Share this: